Thursday 21 January 2010

ජනාධිපතිවරණය හා කොළඹ ජනතාවගේ සැබෑ ගැටළු

චන්‍ද්‍රසේන පණ්ඩිත‍ගේ විසිනි.

මේ රටේ වාසය කරන ජනතාව, බරපතල ගැටලු ගනනාවකට මුහුණ දෙමින් සිටී. සමහර ගැටලු තමන් මුහුණ දෙනවාදැයි ඒවායින් පීඩා විදින මිනිසුන් පවා නොහදුනන තත්වයක් මෙරට තුල පවතින අතර, තමන් මුහුණ දෙන ප්‍රශ්න නිසි ලෙස නොහදුනන මිනිසුන්ට විධායක ජනාධිපති කම අහෝසි කිරීම, රුපියල් 10,000 කින් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම, ස්විධීන කොමිසන් සභා පිහිටුවීම යන මැතිවරණ පොරොන්දු තමන්ගේ ජීවිත වලට බලපාන්නේ කෙසේදැයි මනාව අවබෝධ කර ගැනීමට සෑහෙන කාලයක් ගතවේ. එම නිසා මෙම ජනාධිපතිවරණයේදී මෙරට ජනතාව මුහුණ දෙන ජීවන ගැටලු සම්බන්ධව යම් හඩක් නැංවීම ජනතාවගේ පැත්තෙන් අපට උරුමව ඇති බවක් හැගේ.මෙරට ජනතාවට උරුමව ඇති ජීවන ගැටලුවල ස්වාභාවය විවිධ ස්වරූපයන් ගනී. මේ රටේ අගනුවර යනු රටේ තිබිය යුතු දියුණුම නගරය විය යුතු වුවද; එය මේ රටතුල ඇති ඉතාමත් අසංවර්ධිතම නගරයක් බව දන්නේ ඉතාමත් ස්වල්ප දෙනෙකි. නමුත් කොළඹ නගරය තුල ජීවත්වෙන ජනතාව මහත් අභිමානයෙන් යුතුව කොළඹ නගරය තුල ජීවත්වන්නේ තමන් සුපිරිම නගරයේ ජීවත්වෙනවා යන හැගීමෙණි. සත්‍ය නොහැගීම හා නොදැනීම මේ රටට සිදුව ඇති මහ විනාශයක් බවට පත්ව ඇත. අපගේ සැබෑ යුතුකම වන්නේ ජනතාව සැබෑ ලෙසම දැනුවත් කිරීමයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ඇත්තේ සීමිත දින ගනනකි. මැතිවරණ වේදිකා පුරා විවිධ පොරොන්දු ජනතාව වෙත ඉදිරිපත් කරණු ලැබේ. පොරොන්දු දෙන කිසිදු දේශපාලකයකු ජනතාව වෙත ගොස් අවශ්‍ය මොනවාද යන ප්‍රශ්නය කිසිදා අසා නැත. ජනතා අවශ්‍යතාවයන් නිසි ලෙස හදුනා නොගත් පුද්ගලයින්, ජනතාවගේ අවශ්‍යතා තමාගේ බුද්ධියට අනුව අනුමාන කර ඒවාට ගැලපෙන ආකාරයට විසදුම් නිර්මාණය කර ඉදිරිපත් කරයි.


අප රටේ ජනතාවගේ ප්‍රශ්න ඒකාකාර නොවේ. විවිධ ජාතීන්, විවිධ සංස්කෘතීන් යටතේ ගොඩනැංවී ඇති, අප ජනතාවට ඇති ප්‍රශ්නද විශමාකාරය.
උදාහරණයක් වශයෙන් කොළඹ නගරය ගනිමු. මෙම නගරය තුල ජීවත් වෙන ජනතාවගෙන් අති බහුතරය කිසිදු මිනිසෙකුට ජීවත්වීමට නුසුදුසු පරිසරයක ජීවත්වෙන අතර ඒ බව එම තත්වයන් යටතේ ජීවත් වෙන මිනිසුන් පවා නොදනී. ජන අනුපාතය අනුව,


(අ) සිංහල 265,657


(ආ) දෙමළ 185,672


(ඇ) මුස්ලිම් 153,299


(ඈ) ඉන්දීය දෙමළ 13,968


(ඉ) මැලේ 11, 149


ආදී වශයෙන් ජනතාවක් ජීවත් වුනද මෙම ජනතාව හදුනාගත් හා හදුනා නොගත් උප සංස්කෘතීන් ගනනාවකට වියොවී ඇත. උදාහරණයක් වශයෙන්, සිංහල ජනතාව;


(1). සිංහල බෞද්ධ


(2). සිංහල කතෝලික


(3). සිංහල රෙපරමාදු


(4). සිංහල මෙතෝදිස්ත


(5). සිංහල ඇන්ග්ලිකානු


(6). සිංහල පෙන්තකොස්ත


ආදී වශයෙන් වෙන්වී ඇති අතර, තවද ඉන් එහා ගොස් දේශපාලනික වශයෙන්ද විභේදනය වී සිටී.


කොළඹ නගරය තුල ජීවත්වෙන අනිකුත් ජාතීන්ද ඉහත දක්වන ලද ආකාරයටම උප සංස්කෘතීන් ගනනාවකට බෙදී ඇති අතර, මෙම ජන කණ්ඩායම් අතර ඇති අවශ්‍යතාවයන් සැබවින්ම විවිධ ස්වරූපයන් ගනී. සැබෑ දේශපාලකයින් ඒවා මැනවින් හදුනා ගත යුතුය. ඒ සදහා ඒ ජනතාව අතරට යා යුතුමය.
තවද පවතින රජය මෙම ජනතාවගේ ප්‍රශ්න හදුනාගත යුතු අතර, ඒ සදහා නිසි යාන්ත්‍රණයක් නිර්මාණය කල යුතුමය. උදාහරණයක් ලෙස ඒ සදහා බුද්ධිමතුන්ගෙන් සමන්විත කමිටුවක් විසින් සම්පාදිත ප්‍රශ්නාවලියක් සකස්කර ග්‍රාම සේවක මහතා මගින් එම පලාතේ සෑම ඡන්ද දායකයකුටම ලබාදිය හැකිය. ඒ මගින් ඔවුන් මුහුණ දෙන සැබෑ ප්‍රශ්නයන් අවබෝධ කර ගත යුතුමය.
කොළඹ නගරයේ ජනතාව, මනසින් රටේ අගනුවර ජීවත් වුවද, රටේ උතුරු නැගෙනහිර ජනතාව දශක තුනක් පුරා ගතකල දුක්ඛිත ජීවිතයට සමාන හෝ ඊටත් වඩා එහා ගිය දුක්ඛිත ජීවිතයක් ගත කරන ජනතාවක් කොළඹ ගුබ්බෑයම් තුල ජීවත් වේ. මෙම ජනතාව මෙවන් තත්වයකට පත්ව, එම තත්වයන්ට අනුගතව නිහඩව ජීවත් වුවද, ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න බලයට පත්වෙන රජයන් විසින් අනිවාර්යෙන්ම විසදිය යුතුය.


ඇහැට පෙනෙන පරිසරය ඉතා පහත් අඩියක පවතින මේ අග නගරය, පියවි ඇහැට නොපෙනෙන වායු ගෝලය හා අභ්‍යන්තර භූතලය බොහෝ පෙදෙසක් දූෂිතව ජීවය සදහා නුසුදුසු තත්වයක් නිර්මාණය වී තිබේ. ඔක්සිජන් හීන පරිසරයකට අමතරව; දෛනිකව නගරය තුල සැරිසරන ලක්ෂ ගනනක් වූ වාහන වලින් හා නගරය තුල ඇති කර්මාන්ත ශාලාවලින් නිකුත් කරන විෂ වායූන් කොළඹ නගරයේ වා තලය නිරන්තරව දූෂිත කරයි.


ඊටත් එහා ගිය සිදුවීමක් මේ නගරයේ වූ පරිසරයේ සිදුවේ. මෙම නගරයේ වූ සියලුම ජලාශ, ද්‍රව අප ද්‍රව්‍ය මුදා හරන තැන් බවට නිර්මාණය කරගෙන ඇති බැවින් එම ජලාශ වලින්ද ජීවීන්ට නුසුදුසු වායූන් වාතයට නිකුත් කරයි. මෙම පාරිසරික තත්වයන් යටතේ ජීවය පවත්වා ගෙන යන ජීවීන්ගෙන් ස්වභාව ධර්මය අපේක්ෂා කරන කිසිවක් සමාජයට ලබා දිය නොහැක. මේ මිනිසුන් මුහුණ දෙන මේ ප්‍රශ්නයට පිලිතුර කුමක්ද?


ඉහත සදහන් කලේ කොළඹ නගරයේ ජීවත්වෙන මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න රාශියකින් එක් ප්‍රශ්නයක් පමණි. පුදුමයනම් මේ මිනිසුන්වත් නිසි ලෙස තමන් මුහුණ දෙන ගැටළු මොනවාදැයි හදුනාගෙන නොතිබීමයි. ඊට ප්‍රධාන හේතුව වන්නේ පරිසරයේ ඇති චින්තන බාධක ස්වභාවයයි.


කොළඹ වරාය කේන්ද්‍ර කරගෙන බිහිවූ මේ නගරයේ ‍‍සමකාලික වරායන් වූ කේප් ටවුන් හා ඩර්බන් වරායන් ආශ්‍රිත නගර හා සසදා බැලීමේදී, කොළඹ නගරයට උරුමව ඇත්තේ මහත් ඛේදවාචකයකි.


විද්‍යාත්මක නගර නිර්මාණ ක්‍රියාවලියකට තවමත් හසුව නැති මේ නගරයේ සංවර්ධනයට අත ගැසීමට රට කරවන පාලකයින්ට සියුම් බියක සේයාවක් ඇති බව අපට හැගේ. එම බිය ඇත්ත වශයෙන්ම; කොටි සංවිධානයට මෙරට සිටිය පාලකයින් දැක්වූ බියට සමාන බියකි.


මූලික වශයෙන් ජන සමාජය "කොරියාව" නමින් හදුන්වන ජනතාව ජීවත්වෙන අනවසරව ඉදිකල නිවාස පද්ධතීන් සමූහයක් ඇති මේ නගරය, ඊට අමතරව, මෙයට අවුරුදු සිය ගනනකට පෙර යටත් විජිත සමයේ, මෙරට කම්කරුවන් සදහා ඉදිකල පේලි ගෙවල් සහිත "මුඩුක්කු" සම්බාරයකින්ද යුක්තය. ලංකාවේ පීඩාකාරීම ජීවිත ගෙවන මේ මිනිසුන්ගේ ජීවිත හා ජීවන රටාවන් විග්‍රහ කිරීම වෙනම විෂයකට අයත් කාර්යය භාරයකි.


ඉහත දක්වන ලද නිවාස පද්ධතීන් තුල කාලාන්තරයන් ජීවත්වූ ජනතාවට හොද ජීවන රටාවන් උරුම කරදීම අරමුණු කරගෙන මහා වගුරු බියක් ගොඩකර නව මහල් නිවාස ගොඩ නැංවීම 1965-1970 දක්වාවූ රජයේ සිටි ආර්. ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කරන ලදී. රට කරවන දේශපාලකයින්ට ඉගෙනීමට නවතම දෙයක් සමාජයට එක් කරමින් මේ මිනිසුන් තමන්ට හිමිවූ ඒ මහල් නිවාසවලට තමන්ගේ සංස්කෘතිය උරුම කරමින්කුරුටු ගී හා බිතු සිතුවම්ද එකතු කරමින්, එම මහල් නිවාස නවතම ආකාරයේ මුඩුක්කු සංස්කෘතියකට නතු කලහ.


ස්වභාව ධර්මයේ නිර්මාණයක් වූ මිනිසාට ස්වභාව ධර්මය විසින් උරුම කරන ලද සම්පත් රාසියකටද හිමි කමක් ඇත. ඒවායින් ප්‍රධාන වන්නේ; නොමිලේ පිරිසිදු වාතය;නොමිලේ පිරිසිදු ජලය හා නොමිලේ පිරිසිදු ආහාර යන්නයි. මෙය ස්වභාව ධර්මයේ ධර්මතාවය වන අතර, මිනිසා හැර ලොව වසන අන් සියළුම සත්වයින් තවමත් එම වරප්‍රසාදය බුක්ති විදිමින් සිටී.


කොළඹ ජීවිතය උරුමව උපත ලද කිසිදු දරුවෙකුට මේ කරුණු තුනින් කිසිවකටත් හිමි කමක් නැති අතර, එය ඔවුන් අවබෝධ කරගෙනත් නැත.


බිළිදෙකු උපත ලද විගස ඔහුගේ පිටට තට්ටුවක් කර ලබාදෙන ඔක්සිජන් වාතයට මිනිසෙකු උදෙසා කලහැකි කාර්යය භාරය අතිමහත්ය. ඔහු උගතෙක්, බුද්ධිමතෙක් හෝ ප්‍රඥාවන්තයකු බවට පත්කිරීමට මහත් උපකාරයක් කිරීමට මෙම වායුවට හැක. මෙම වායු ඌන පරිසරයක ගොඩනැගෙන දරුවකුගේ බුද්ධියට මෙම පරිසරය මහ විශාල බලපෑමක් කරයි. එසේ වැඩී වැඩිහිටියකු වූ විට ඉතාමත් පහසුවෙන් රැවටීම් වලට භාජනය වේ. අලියා වෙනුවට කණ්නාඩියට චන්දය දී තමන්ට සේවාවක් ලබාගැනීමට තිබූ නගර සභාව විනාශ මුඛයට තල්ලු කර දැමීම; මෙවන් ජනතාව කල මහා විනාශයක් සදහා දිය හැකි හොදම උදාහරණයයි.


මෙම ජනතාවගේ ඔක්සිජන් ඌනතාවය සම්බන්ධව රජය වහාම පියවරක් ගත යුතුමය.මේ ක්‍රියාවලිය සදහා ඉතා සුපැහැදිලි ක්‍රමවේදයන් රාශියක් ඇත.


දෙවනුව මොවුන් බලවත්ව මුහුණ දෙන ගැටලුව වන්නේ ජලයයි. තෙවනුව සනීපාරක්ෂක පහසුකම් වලින් ඉතාමත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන මේ ජනතාවට ඒවා එහෙම බවක් වටහා ගැනීමටවත් හැකියාවක් නැති තත්වයක පසුවේ.


සෑම සත්වයකුටම උරුමවූ ජීවන කාර්යයක් ඇති අතර, එම කාර්යයට බද්ධවූ පරිසරයක ඔහු ජීවත්විය යුතුය. ධීවරයා මුහුදට ආසන්නවත්; ගොවියා කුඹුරට ආසන්නවත්; යන ආකාරයට වර්ග කර බලා කොළඹ සිටින තරුණයින් කුමන කර්මාන්තය හා බද්ධව මේ නගරයේ සිටී දැයි සොයා බලා මේ නගරයට සාධාරණයක් ඉටු කල යුතුමය. මෙම නගරය චීනයේ ෂැංහයි නගරය මෙන් මහා ප්‍රතිනිර්මාණ ක්‍රියාවලියකට භාජනය කර; මෙම නගරයටත් එහි වාසය කරන ජනතාවටත් මුලු රටටත් මහත් භාග්‍යයක් උදාකල හැක. ඒ හරහා කොළඹ නගරය තුල සිදුවෙන දූෂණය හා නාස්තිය විශාල ප්‍රතිශතයකින් අවම කලහැක. ඉහත දක්වන ලද සමාජ ගැටළු වලට හේතුව විධායක ජනාධිපති ක්‍රමය නම් නොවේ. ඒ අනුව, එම ගැටළු වලට පිලිතුර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ ව්‍යාවස්ථා සම්පාදක මණ්ඩල පිහිටුවීම යන කරුණු තුල අන්තර් ගත නොවේ. කොළඹ සැබෑ සංවර්ධන ක්‍රියාවලියකට නැඹුරු කිරීම කොළඹ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවයයි. මීලගට බලයට පත්වෙන ජනාධිපතිතුමා වන මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ජනතාව වෙනුවෙන් කලයුතු සැබෑ කාර්යය භාරය විය යුත්තේද එය යයි අපි තරයේ විශ්වාස කරමු.

No comments:

Post a Comment