Saturday 16 January 2010

ජෙනරාල්ගේ අවි ගනුදෙනුව බොරු කියන්න මොහොමඩ් මුසම්මිල්ට එජාපයෙන් ලක්‍ෂ ගණනක අල්ලසක්‌ දෙයි -විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකින් හෙළිවෙයි

ඒ. ඡේ. ඒ. අබේනායක
එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයෝන් මුස්‌තාපා මහතා ඊයේ (15 දා) පෙරවරුවේ වැල්ලවත්ත සෆායා හෝටලයේදී තමාට රුපියල් ලක්‍ෂ ගණනක අල්ලසක්‌ ලබාදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.

හයිකොෆ් අවි ගනුදෙනුව හා ද්‍රවිඩ ජාතික පෙරමුණේ ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම පිළිබඳව තම පක්‍ෂයේ සභාපති විමල් වීරවංශ මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නඟන චෝදනා පදනම් විරහිත බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශයක්‌ ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එම අල්ලස ලබාදුන්නේ යෑයි ද හේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා එලෙස ප්‍රකාශ කළේ බත්තරමුල්ල ජයන්තිපුර පිහිටි එම පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස්‌ දක්‌වමිනි.


ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්‌වරුවේ පැවැති එම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා - මෙයට සති 2-3 කට පමණ පෙර පාර්ලිමේන්තුවේදී මයොන් මුස්‌තාපා මහතා මට යෝජනා කළා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය දක්‌වන්න ඉදිරිපත් වෙනවා නම් මට රුපියල් ලක්‍ෂ 300 ක්‌ සහ ඉතාමත් ආරක්‍ෂා සහිතව විදේශ රටක ජීවත් වෙන්න කටයුතු සලසා දෙන්නම් කියලා.


එතුමා කීවා ඔහු මේ යෝජනාව කරන්නේ තම පක්‍ෂයේ නායකයන්ගේ හා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඉල්ලීමක්‌ අනුවයි කියලයි. මම පසුව මේ පිළිබඳව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රවි කරුණානායක හා මලික්‌ සමරවික්‍රම යන මහත්වරුන් සමඟත් සාකච්ඡා කළා. මම පෙරේදා (14 දා) රාත්‍රියේ රාජගිරියේ පිහිටි මලික්‌ සමරවික්‍රම මහතාගේ කාර්යාලයේදීත් ඔහු හා රවි කරුණානායක මහතා සමඟ ඒ ගැන නැවත සාකච්ඡා කළා.


ඔවුන්ගේ දැනුම්දීම අනුව මම ඊයේ (15 දා) උදේ 9.00 ට විතර වැල්ලවත්ත සෆායා හෝටලයේ අංක 205 දරන කාමරයේදී මයොන් මුස්‌තාපා මන්ත්‍රීවරයා හමුවුණා. එතුමා නමින් පෙරේදා රාත්‍රි 11.00 ට තමයි ඒ කාමරය වෙන් කරගෙන තියෙන්නේ. එහිදී එතුමා මට විශාල මුදල් නෝට්‌ටු තොගයක්‌ ලබාදුන්නා. එතුමා සමඟ තවත් අයකු හිටියා. ඒ මුදල් නෝට්‌ටුවල වටිනාකම කොච්චරද කියලා මට තාම ගණන් කරන්න බැරිවුණා. මම හිතන්නේ එතන රුපියල් ලක්‍ෂ ගණනාවක්‌ තියෙනවා කියලයි. ඒ මුදල් නෝට්‌ටු තොගය දුන්න ඔවුන් කීවා අද හවසට ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩීන්ස්‌ පාරේ තිබෙන මැතිවරණ කාර්යාලයේදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විමල් වීරවංශ සහෝදරයා ජෙනරාල්ට එරෙහිව නඟා තිබෙන හයිකොෆ් අවි ගනුදෙනුව හා ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම පිළිබඳව අපේ පක්‍ෂයේ සාකච්ඡාවලදී තීරණයක්‌ නොගත් බවත් එය පදනම් විරහිත චෝදනාවක්‌ බවටත් ප්‍රකාශ කරන්න කියලා. මා එයට එකඟවෙලා මෙයට මොහොතකට පෙර ඔවුන් සමඟ එම කාර්යාලයට ගියා. ඔවුන් මාව එහි බලහත්කාරයෙන් රඳවා තබාගන්න උත්සාහ කරන බවක්‌ දැනුන නිසා මම එහි සිටි මාධ්‍යවේදීන්ට ප්‍රකාශයක්‌ කරලා සල්ලි මිටි තිබුණ බෑග් එකත් අරගෙන එතනින් පැනගත්තා. මම මේ හැම දෙයක්‌ම කළේ අපේ පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතාගේ උපදෙස්‌ අනුවයි. අපිට ඕනකම තිබුණා විපක්‍ෂය මහජන නියෝජිතයන් තම මුදල් බලයෙන් මිලදී අරගෙන මහජන පරමාධිපතිත්වය පාවාදෙන්න දරන උත්සාහය සාක්‍ෂි සහිතව ජනතාවට පෙන්නුම් කරන්න. ඔවුන් සමඟ මම කළ සාකච්ඡාවල හඬපට අපි ගාව තිබෙනවා. ඉදිරියේදී ඒවා මාධ්‍යයට ඉදිරිපත් කරනවා.


එහිදී අදහස්‌ දැක්‌වූ ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා - අපේ මුසම්මිල් මන්ත්‍රීතුමාට මේ ලබාදීලා තියෙන්නේ අත්තිකාරම් මුදලක්‌. මහජන නියෝජිතයන් මෙහෙම මිලදී ගන්න එකද ජෙනරාල් ඇති කරනවා කියන ප්‍රජාතන්ත්‍රවාදය. මේක බරපතල අල්ලස්‌ දීමක්‌. අප මේ පිළිබඳ අල්ලස්‌ කොමිසම් සභාවට පැමිණිලි කරන්න පියවර ගන්නවා. ඒ පැත්තට ගිය අයවත් අරගෙන තියෙන්නේ මේ විදියට අල්ලස්‌ දීලයි කියන එක දැන් පැහැදිලියි. කවුද දූෂිතයෝ කියන එක දැන් ඔප්පුවෙලා ඉවරයි. නෝර්වේ රාජ්‍යයේ සල්ලි අරගෙන විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් ෆොන්සේකා කරන මේ දූෂිත ක්‍රියා අපි ජනතාව ඉදිරියේ හෙළිකරන්න ඕනෑ. අපිටත් මේ ඡන්ද ව්‍යාපාරය කරන්න සල්ලි නැතුවයි හිටියේ. ඒ නිසා අපි ඒ අයට ස්‌තුතිවන්ත වෙනවා මේ විදියට සල්ලි දුන්නාට. අපි මේකෙන් සත පහක්‌ ගන්නේ නැහැ ඔක්‌කොම ටික වියදම් කරලා ජනාධිපතිතුමා වෙනුවෙන් රූපවාහිනියේ හා ගුවන් විදුලියේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ටිකක්‌ දානවා. මේ විදියට සල්ලි දීලා මන්ත්‍රීවරුන් අරගෙන තමන්ට මහජන මතයක්‌ තිබෙන බව කෘත්‍රිම ලෙස පෙන්වන්න හදන කෙනෙක්‌ මේ රටේ නායකයා වුණොත් කොහොම වෙයිද? ඉතිහාසයේ පළමු වතාවට තමා මේ විදියට සාක්‍ෂි සහිතව මේ වගේ චෝදනාවක්‌ ඔප්පු කරන්න ලැබුණේ.


එහිදී අදහස්‌ දැක්‌වූ ඌව පළාත් සභා මන්ත්‍රී කපිතාන් මිහිමල් මුණසිංහ මහතා - මම පසුගිය සතියේ දිනක බදුල්ලේ පැවැති රැලියකදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්‌වන්න ඉදිරිපත් වුණේ එතුමා මාත් සමඟ රාජකාරි කළ මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ නිසයි. නමුත් ඔහු ආර්. සම්බන්ධන් වැනි මේ රට දෙකඩ කරන්න හැමදාම උත්සාහ කළ අය සමඟ එකතුවීම නිසා මම ආයෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දෙන්න තීරණය කළා.

No comments:

Post a Comment