Friday 22 January 2010

මහින්දට 60% යි - ජෙනරාල්ට 38% යි සමීක්‌ෂණයක්‌ කියයි

ලසිත දුමින්ද

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පවත්වන ලද අවසන් සමීක්‌ෂණ වාර්තාවට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සියයට 60 ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගන්නා බවට හෙළිවී ඇත.
එහිදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සියයට 38 ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගන්නා බව එම වාර්තාව පෙන්වා දී තිබේ. දිවයිනේ සෑම දිස්‌ත්‍රික්‌කයකම සියලු ජන කොටස්‌ ආවරණය කරමින් පවත්වන ලද මෙම සමීක්‌ෂණයේ දී මෙවර ජනාධිපතිවරණයෙන් ජනාධිපති විය යුත්තේ කවුද යන මාතෘකාව ඔස්‌සේ කළ සමීක්‌ෂණයට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සියයට 62 ක ඡන්ද ප්‍රතිශතයක්‌ද, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සියයට 36 ක්‌ ඡන්ද ප්‍රතිශතයක්‌ද ලබාගෙන ඇත.

එසේම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපති විය යුත්තේ යන මාතෘකාවට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සියයට 60 ක ඡන්ද ප්‍රතිශතයක්‌ද, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සියයට 38 ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලැබී තිබේ.
පසුගිය කාලවලදී පැවැතිවූ මැතිවරණවලදී ද කැලණිය විශ්වවිද්‍යාලය සිදු කළ සමීක්‌ෂණ ප්‍රතිඵල දත්තයන් සාර්ථක වූ බව ජනසන්නිවේදන අංශයේ ආචාර්ය රෝහණ ලක්‌ෂ්මන් පියදාස මහතා පැවැසීය.
ජනාධිපතිවරණයට නාම යෝජනා ලබාදීමෙන් පසු අදියර තුනක්‌ යටතේ අදාළ සමීක්‌ෂණ පැවැත්වූ බවත්, අවසන් අදියර ඉකුත් සතියේ ආරම්භ කළ බවත් රෝහණ ලක්‌ෂ්මන් පියදාස මහතා පෙන්වා දුන්නේය.
මෙම සමීක්‌ෂණය විවිධ දේශපාලන මත දරන සිසුන් සියයකගේ සහභාගිත්වයෙන් පවත්වා ඇත.


මෙහිදී රාජ්‍ය අංශයෙන් සියයට 20 ක්‌ ද, පෞද්ගලික අංශයෙන් සියයට 25 ක්‌ද, ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගෙන් සියයට 30 ක්‌ද, රැකියා නියුක්‌තිකයන්ගෙන් සියයට 25 ක්‌ද ආවරණය වන පරිදි මෙම සමීක්‌ෂණයට සහභාගි කරගෙන තිබේ.
වයස අවුරුදු 18 - 25 අතර සියයට 23 ක්‌, 26 - 40 අතර සියයට 33 ක්‌, 41 - 55 අතර සියයට 27 ක්‌, සහ 55 ට වැඩි පුද්ගලයන් සියයට 17 ක ප්‍රතිශතයක්‌ මෙයට දායක වී ඇත.
මීට අමතරව මේ දිනවල වඩාත්ම ජනතාවට දැනෙන දේශපාලන දැන්වීම යටතේ තාරුණ්‍යයට හෙටක්‌ 33% ක්‌ද, සුබ අනාගතයක්‌ 07% ක්‌ද, මට පෙර රට 07% ක්‌ද, විශ්වාසනීය වෙනසක්‌ 12% ක්‌ද වශයෙන් වාර්තා වී තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ ආචාර්ය රෝහණ ලක්‌ෂ්මන් පියදාස මහතා එම කරුණු අනාවරණය කරනු ලැබුවේ ඊයේ (21 වැනිදා) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.

No comments:

Post a Comment