Sunday 31 January 2010

මව්බිම වෙනුවෙන් ජනතාව දුන් තීන්දුවක්‌ !-ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

සාකච්ඡා කළේ පාලිත සේනානායක- දිවයින

අපේ රටේ මෙතෙක්‌ පැවති ජනාධිපතිවරණ අතුරින් සුවිශේෂ ජනාධිපතිවරණයක්‌ ලෙස හැඳින්වුණු මෙවර ජනාධිපතිවරණයේ ජනතා තීන්දුව දැන් ප්‍රකාශයට පත් වී හමාරය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලද ඒ ඓතිහාසික විජයග්‍රහණයට පසුබිම් වූ කරුණු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි කරන විග්‍රහයකි මේ ජනාධිපතිතුමා ලැබූ විශිෂ්ට ජයග්‍රහණය ඔබ දකින්නෙ කොහොමද?මේ ජනාධිපතිවරණය පිළිබඳ සිදුකෙරුණු සමීක්‍ෂණ වාර්තා කිසිවකින් වත් මේ තරම් විශාල ජයග්‍රහණයක්‌ පෙන්නුම් කළේ නැහැ. නමුත් අවසාන දින දහයක පමණ කාලය තුළ මේ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ කාටද යන්න පිළිබඳ ජනතාව කරුණු 3 ක්‌ සම්බන්ධයෙන් අවධානය යොමු කළා.


පළමු කාරණය හැටියට රනිල්, හකීම්, මනෝ ගනේෂන් වැනි එදා ත්‍රස්‌තවාදය පැරැදවීමේ යුද්ධයට එරෙහිව කටයුතු කළ පිරිසක්‌ සමග ජෙනරාල් වැනි එම යුද්ධයේ වීරයකු එකතු වීමෙන් කුමන තත්ත්වයක්‌ ඇතිවෙයි දැයි ජනතාව කල්පනා කළා. ජනතාව තුළ වූ එම කුතුහලය ජෙනරාල් බලයට පත් වුවහොත් යළිත් රට බෙදීමේ අනතුරක්‌ ඇතිවේය යන සැකය බවට පෙරළුණේ සම්බන්ධන් මහතාත් ජෙනරාල් දිනවීමේ මැතිවරණ සටනට එකතුවීමෙන් පසුවයි. මේ රට රැකගැනීමේ අවශ්‍යතාව ගැන ජනතාව සිත යොමු කළා. දෙවැනි කාරණය ලෙස මා දකින්නේ සරත් ෆොන්සේකා මහතා වේදිකාවේ ඉතාමත් අමිහිරි කතා කියමින් එතෙක්‌ තමන් ගොඩනඟාගෙන තිබූ දැවැන්ත ප්‍රතිරූපයේ වීරත්වය විනාශ කර ගත් ආකාරයයි. ඔහුගේ ඒ හැසිරීම් ස්‌වභාවයෙන් ඔහු මේ රටේ ජනාධිපති තනතුර වැනි උසස්‌ තනතුරකට සුදුස්‌සෙක්‌ ද යන පැනය ජනතාව තුළ පැනනැඟුණා. මේ නිසා සරත් ෆොන්සේකා මහතා ජනාධිපති තනතුරට පත් වුවහොත් කුරිරු ආඥදායකයකු ලෙස කටයුතු කරනු ඇතැයි බියක්‌ ජනතාව තුළ ඇති වුණා. අපේ රටේ වැඩිදෙනා ශිෂ්ටසම්පන්න, ආගම දහම අදහන සාමකාමී පිරිසක්‌. ප්‍රජාතන්ත්‍රවාදය අගයන මේ පිරිස කිසිවිටෙක ආඥදායකත්වයට කැමති වන්නේ නැහැ.

මේ ජයග්‍රහණය ලබාදීමට ජනතාව කල්පනා කළ අනෙක්‌ කාරණය නම් ජනාධිපතිවරණයට සති 2 කට පමණ ඉහත සිට මේ ජනාධිපතිවරණයෙන් සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරන බවට සමීක්‍ෂණ වාර්තා පෙන්නුම් කළ බව ප්‍රචලිත කළා. විශේෂයෙන් කොළඹ ප්‍රභූ පන්තියට (කොළම්බියන්ස්‌) එම පණිවිඩය යෑවීමෙන් එය මුළු රටේම ප්‍රචාරය වුණා. නමුත් රට පුරා සාමාන්‍ය ජනතාව එය බාර ගත්තේ ත්‍රස්‌තවාදය පරදවා රට දිනවූ ජනාධිපතිතුමාට සිදු කරන ෙද්‍රdaහිකමක්‌ හැටියට. රට දිනවූ ජනාධිපතිතුමාට කෙළෙහි ගුණ දක්‌වන්නට ජනතාවට අවශ්‍ය වුණා. මේ මහා ජයග්‍රහණය රට ත්‍රස්‌තවාදයෙන් මුදාගත් ජනාධිපතිතුමාට කළගුණ සැලකීමක්‌.


නමුත් එක්‌සත් ජාතික පක්‍ෂයත් ජනතා විමුක්‌ති පෙරමුණත් එකතු වී ජනාධිපතිතුමාට එරෙහිව යම් අභියෝගාත්මක ඡන්ද සංඛ්‍යාවක්‌ එකතු කර ගනීවි යෑයි ඇතමුන් කල්පනා කළා. මේ ප්‍රතිඵලය තුළින් එය සිහිනයක්‌ වී තිබෙනවා නේද?

එක්‌සත් ජාතික පක්‍ෂය සමග එකතු වීම හැර මේ ඡන්දයේදී ජනතා විමුක්‌ති පෙරමුණට වෙනත් විකල්පයක්‌ තිබුණෙ නැහැ. ජවිපෙ දෙකඩ වී එහි ඡන්ද පදනම බිඳවැටීම එයට හේතුවයි. එජාප, ජවිපෙ එකතුව තුළ මේ ඡන්ද ව්‍යාපාරයේ පුරෝගාමීව වැඩ කළේ සුළුතරයක්‌ වූ ජවිපෙ සාමාජිකත්වයයි. ඒ නිසාම ජවිපෙ සහ සරත් ෆොන්සේකා මහතා අතරත් සමීප සබඳතාවක්‌ මේ ඡන්දය පුරාම අපි දුටුවා. කෙසේ නමුත් ජවිපෙ ක්‍රියාකාරී නායකයන්ව සිටි විමල් වීරවංශ මහතා වැනි අය රජයට සම්බන්ධවීම හේතුවෙන් ජවිපෙ, එජාප එකතුව තුළින් විශාල ඡන්ද සංඛ්‍යාවක්‌ එකතුකර ගැනීමට ඔවුන්ට නොහැකි වුණා.

මේ ජයග්‍රහණය ත්‍රස්‌තවාදයෙන් රට මුදාගත් ජනාධිපතිතුමාට ජනතාවගේ කළගුණ සැලකීමක්‌ ලෙස ඔබ හැඳින්වූවා. විපක්‍ෂ සන්ධානය ජනාධිපතිතුමාට එල්ල කළ ඥති සංග්‍රහ සහ දූෂණ චෝදනාවලට ජනතාවගේ අවධානය යොමු නොවුණේ ඇයි?


මේ ඡන්දය ජනතාව දුන්නෙ ජනාධිපතිතුමාට. විපක්‍ෂ සන්ධානය රජයට එල්ල කළ චෝදනා, විශේෂයෙන් ඇතැම් මැති ඇමැතිවරුන් කළ දූෂණ පිළිබඳ චෝදනාවල යම් සත්‍යතාවක්‌ තිබෙනවා. මේ ඡන්දය පොදුවේ රජයට පක්‍ෂපාතීත්වයක්‌ පෙන්නුම් කිරීමක්‌ නොවෙයි. ජනාධිපතිතුමා සම්බන්ධයෙන් ජනතාවට ප්‍රශ්නයක්‌ තිබුණෙ නැහැ. රජය තුළ විවිධ අඩුපාඩුකම් තිබුණත් ජනාධිපතිතුමා ගෙදර යෑවීමට ජනතාව කැමති වුණේ නැහැ. මේ ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්නුම් කළේ ජනාධිපතිතුමා කිසිදු විදේශ බලවේගයක්‌ හමුවේ මේ රට පාවා නොදෙන බවට ජනතාව තුළ ඇති විශ්වාසයයි. ත්‍රස්‌තවාදීන් සමග සාකච්ඡා නොකරන බවට ජනතාව තුළ ඇති විශ්වාසයයි. පවුල්වාදය ගැන, දූෂණ ගැන රජයට කොයිතරම් චෝදනා එල්ල වුණත් ජනතාව මේ අවස්‌ථාවේ ඒ පිළිබඳ තැකීමක්‌ කළේ නැහැ. ජනතාව කල්පනා කළේ ත්‍රස්‌තවාදයෙන් රට නිදහස්‌ කර ගැනීමත් නිදහස්‌ කර ගත් රට සුරැකීමත් පමණයි.


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වැඩියෙන්ම ජයග්‍රහණය කර තිබෙන්නේ ද්‍රවිඩ ජනතාව ජීවත් වන ප්‍රදේශයි. ඔහුගේ එම ජයග්‍රහණයන්ට ඔබ දකින හේතුව කුමක්‌ද?


සුළු ජාතිකයන් බහුතරයක්‌ ජනාධිපතිතුමාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මේ යුද්ධය අවසන් වූ පසු දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට සතුටුදායක විසඳුමක්‌ ලබාදීමට මේ රජය අපොහොසත් වීමේ ප්‍රතිඵලයක්‌ විය හැකියි.


ජනතා විමුක්‌ති පෙරමුණේ අනාගතය මේ මැතිවරණ ප්‍රතිඵල තුළින් කෙබඳු ඉරණමකට ලක්‌කරයිද?


මේ ජනාධිපතිවරණයේ මුල් අවස්‌ථාවේ ඒ ගැන කටයුතු කරමින් සිටියේ ජනාධිපතිතුමාවත් සරත් ෆොන්සේකාවත් නෙමෙයි ජනතා විමුක්‌ති පෙරමුණයි. නමුත් මේ ඡන්දයට ඉදිරිපත් කරන්න ජනතා විමුක්‌ති පෙරමුණට ශක්‌තියක්‌ තිබුණෙ නැහැ. තමුන්ට එවැනි ශක්‌තියක්‌ නොමැති නිසා පිටස්‌තර පුද්ගලයකු එම ස්‌ථානයට යොමුකර අනෙක්‌ පක්‍ෂවලිනුත් ඊට සහයෝගය ලබාගැනීමේ කටයුත්තක ඔවුන් නිරත වුණා. එදා ඔවුන් තිස්‌සමහාරාමය ආසනය දිනාගන්නා විට ඔවුන්ට මුල්බැසගත් පදනමක්‌ තිබූ නමුත් ඒ පදනම අද ඔවුන් තුළින් ගිලිහී ගොස්‌ තිබෙනවා. ජවිපෙ අද ජෙනරාල් සරත් ෆොන්සේකා මේ ඡන්දයෙන් ලද අපකීර්තියේ කොටස්‌කරුවකු වී සිටිනවා. ඔවුන්ට තිබූ ග්‍රාමීය ඡන්ද පදනමට මෙය බලපෑමක්‌ විය හැකියි. ෆොන්සේකා මහතා මාර්ගයෙන් එවැනි පදනමක්‌ ඇතිකර ගැනීමට ඔවුන් අපේක්‍ෂා කළත් එය ඉටුවී නැහැ. එසේම එක්‌සත් ජාතික පක්‍ෂයට කිසිසේත්ම ජනතා විමුක්‌ති පෙරමුණ සමග සමීපව සම්බන්ධ වී කටයුතු කිරීමට අවශ්‍ය ද යන්නත් ප්‍රශ්නයක්‌.


විශේෂයෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණේ පහළ මට්‌ටමේ සාමාජිකයන් එක්‌සත් ජාතික පක්‍ෂය සමග කටයුතු කරන්නට සූදානම් වුණේ නැහැ. එජාප ප්‍රතිපත්ති ජවිපෙ ප්‍රතිපත්ති සමග එකඟත්වයක්‌ ඇතිවන්නේ නැහැ. මේ නිසා ජවිපෙ පහළ සාමාජිකයන් අද ඉන්නේ දෙලොවක්‌ අතර. ඊළඟ මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා නැතිව ඔවුන්ට පැවතිය හැකි ද යන්න පවා ප්‍රශ්නයක්‌.


මේ ජයග්‍රහණයත් සමග රජයට මුහුණ දීමට ඇති ඉදිරි අභියෝග මොනවද?


මේ ජයග්‍රහණයෙන් ජය පැන් බොන්නට රජය සූදානම් වෙනවා නම් එය ඉදිරි මහ මැතිවරණයේදී ඔවුන් පරාජය වීමට තබන පියවරක්‌ විය හැකියි. මෙම ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ රජයේ සියලු අඩුපාඩුකම් අමතක කර ජනාධිපතිතුමා මේ රට සාමකාමී රටක්‌ නිදහස්‌ රටක්‌ බවට පත් කිරීමට ගත් ක්‍රියාමර්ගයට කෘතගුණ සැලකීමක්‌ විදිහටයි. එම නිසා රජයට එල්ල වී තිබෙන චෝදනා නිවැරැදි කර ගැනීම මේ ජයග්‍රහණයත් සමග රජය හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි. රජයට එල්ල වී ඇති චෝදනාවලින් පැහැදිලිව පෙනෙන්නේ මේ රජයේ ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් වැඩිදෙනා ජනතාවගේ ප්‍රසාදය දිනාගෙන නැති බවයි. එමනිසා මේ ජනාධිපතිවරණයේදී රජයට එල්ල වී ඇති චෝදනා පිළිබඳ සැලකිලිමත්ව ඊට නිසි පිළියමක්‌ යොදන්නට ජනාධිපතිතුමා අපොහොසත් වුව හොත් මේ ජනතා කෘතඥතාවයේ සැබෑ ප්‍රයෝජනයක්‌ රටට නොලැබෙනු ඇත.





No comments:

Post a Comment