Saturday 16 January 2010

සම්බන්ධන්ලාගේ ඊළාම් උගුල

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමනසිරි ලියනගේ විසින් 2010 ජනවාරි 11 වැනිදා ඔයෑ ෂික්‌බා පුවත්පතට සැපයූ ලිපියකි.

පසුගිය සතියේ රටේ දේශපාලන ක්‍ෂේත්‍රය තුළ සිදුවූ යම් සිදුවීමක්‌ සම්බන්ධයෙන් මේ රටේ බුද්ධිමත් ජනතාවගේ අවධානය යොමුවිය යුතු බව මගේ පිළිගැනීමයි. පාර්ලිමේන්තුව තුළ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන්ගේ නියෝජිතයන් ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය (ඔභA) ජනාධිපතිධුර අපේක්‌ෂක සරත් ෆොන්සේකාට සහය දීම සඳහා ඉදිරිපත්වීම, මෙරටේ ඉදිරි පැවැත්ම කෙරෙහි ගැටලු සහගත තත්ත්වයක්‌ මෙන්ම අනපේක්‍ෂිත ප්‍රතිවිපාකයන් ඇති කිරීමට හේතුවේද යන්න සම්බන්ධයෙන් බොහෝ අය තුළ සැකසංකා මතුවෙමින් පවතින බව සඳහන් කළ යුතුය. මෙම සිදුවීම එනම් "සම්බන්ධන්" ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධානය විපක්‍ෂයේ පොදු අපේක්‌ෂක සරත් ෆොන්සේකාට සහාය දැක්‌වීමට ගත් තීරණය පිළිබඳ තර්කානුකූල විශ්ලේෂණයක යෙදෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන සුමනසිරි ලියනගේ විසින් 2010 ජනවාරි 11 වැනිදා පළවූ ඔයෑ ෂික්‌බා පුවත්පතට ලියා ඇති ලිපියෙහි සඳහන් කරුණු කෙරෙහි සමස්‌ත ජනතාවගේ අවධානය යොමුවිය යුතුව ඇත.

මහාචාර්ය සුමනසිරි ලියනගේ සිය දේශපාලන විග්‍රහය තුළින් එම තීරණයට පසුබිම් වූ හේතු සාධක සහ දෙමළ සන්ධානයේ ප්‍රකාශිත සහ සැඟවුණු අරමුණු කුමක්‌ද යන්න පැහැදිලි කිරීමට උත්සාහගෙන ඇති බවක්‌ පෙනේ. ෆොන්සේකා වෙත සහය දැක්‌වීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානය ගත් තීරණය ඒකමතික තීරණයක්‌ බව "සම්බන්ධන්" සඳහන් කළත් එය එසේ නොවන බව ඔහුගේ මතයයි. එම තීරණයත් සමග සිදුවී ඇත්තේ ද්‍රවිඩ සන්ධානය තුන් පැත්තකට කැඩී බිඳී යැමකි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන සමස්‌ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මේ පිළිබඳව දරන්නේ සම්බන්ධන් දරන මතයට වඩා වෙනස්‌ මතයකි. පොන්නම්බලම්ගේ ස්‌ථාවරය වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මෙම ජනාධිපතිවරණයේදීත් ද්‍රවිඩ ජනතාව සිය ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු බවයි. ඔහු කෙළින්ම කියා සිටින්නේ මේ රටේ සිංහල දේශපාලන නායකයන් බලයට පත් කිරීම සඳහා ද්‍රවිඩ ජනතාවට කිසිම අවශ්‍යතාවක්‌ නොමැති බවයි. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ එම ස්‌ථාවරය එල්. ටී. ටී. ඊ. සංවිධානය දැරූ මතය සමග කෙළින්ම සම්බන්ධ බව පැහැදිලියි.


අනෙක්‌ අතට ද්‍රවිඩ ජාතික සන්ධානයේ තවත් පාර්ශ්වකරුවකු වන සිවාජිලින්ගම් ද්‍රවිඩ කොංග්‍රසය දරන ඉහත සඳහන් මතය සමග එක්‌තරා ආකාරයකට එකඟවුවත්, ඔහුගේ පිළිගැනීම වී ඇත්තේ මේ රටේ ද්‍රවිඩ ජාතිකයන් ස්‌වාධීනව ජාතික දේශපාලනය සඳහා නැවත ප්‍රවිෂ්ඨ වියයුතු බවයි. එම ස්‌ථාවරය මත පිහිටා සිවාජිලින්ගම් ජනාධිපති තරගය සඳහා ඉදිරිපත්වී සිටින අතර ඔහුගේ එම තීරණය අප සැලකිය යුත්තේ රටේ ද්‍රවිඩ දේශපාලනය තුළ ගුණාත්මක වශයෙන් සිදුවූ වෙනසක්‌ ලෙසයි. ද්‍රවිඩ සන්ධානය තුළ දකින්නට ලැබෙන මෙම බෙදීම් සහගත තත්ත්වය මෙරට දේශපාලනය කෙරෙහි කොයි ආකාරයකට බලපානවාද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක්‌ ඇති කරගැනීම සඳහා පසුගිය 25 වසරක පමණ කාලයක්‌ තිස්‌සේ මෙරට ද්‍රවිඩ ජාතික දේශපාලනය සහ මැතිවරණ ක්‍රියාදාමය ගැන යම් විමසා බැලීමක්‌ සිදුකළ යුතු බව ආචාර්ය සුමනසිරි ලියනගේ මහතාගේ අදහසයි.


ද්‍රවිඩ සන්ධානයේ ගෙ-න්ද්‍ර කුමාර් පොන්නම්බලම් පාර්ශ්වය සහ සිවාජිලින්ගම් පාර්ශ්වය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වෙනත් ස්‌ථාවරයක පිහිටා කටයුතු කිරීමට තීරණය කරද්දීත් එය ප්‍රතික්‍ෂේප කරමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ සම්බන්ධන් පාර්ශ්වය තීරණය කර ඇත්තේ සරත් ෆොන්සේකාට සහය දැක්‌වීමටයි. සම්බන්ධන් කියන ආකාරයට ඔවුන් ෆොන්සේකාට සහාය දැක්‌වීමට තීරණය කර ඇත්තේ කොන්දේසි විරහිතවයි. ඔහු කියන ආකාරයට ඔවුන් ලබාදෙන සහාය වෙනුවෙන් මෙරටේ ද්‍රවිඩ ප්‍රශ්නය විසඳීම සඳහා යම් පැහැදිලි ප්‍රතිඥාවක්‌ සරත් ෆොන්සේකා වෙතින් නොලැබෙද්දීත් ද්‍රවිඩ ජාතික පෙරමුණ මේ ආකාරයට ඔහුට සහාය දැක්‌වීමට තීරණය කිරීමට හේතු සාධක වූ කරුණු මොනවාද යන්න අප විසින් සොයා බැලිය යුතුයි.


සති කිහිපයකට පෙර නුවර ප්‍රදේශයේ වෘත්තිකයන්ගේ සංවිධාන කිහිපයක්‌ අමතමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තමන් මේ තරම් ඉක්‌මණින් ජනාධිපතිවරණයක්‌ පවත්වන්නට තීරණය කළේ මන්ද යන්න පැහැදිලි කරමින් ඔහුගේ එම තීරණයට හේතු පාදක වූ කරුණු දෙකක්‌ ගෙනහැර දැක්‌විය. තමන් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනතාව වෙත දුන්න ප්‍රධාන වූත් ඉතා වැදගත් වූත් පොරොන්දුව එනම් එල්. ටී. ටී. ඊ. ය පරාජය කොට රට එක්‌සේසත් කරන බවට දුන් පොරොන්දුව තමන් විසින් ඉටු කළ බව ඔහු දැක්‌වූ ප්‍රධාන හේතුවයි. ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ 2005 පැවති ජනාධිපතිවරණයේදී තමන්ව තෝරා පත්කර ගත්තේ දකුණේ සිංහල ජනතාව පමණක්‌ බවත් එම තත්ත්වය යටතේ තමන්ට මුළු රටම පාලනය කිරීම සඳහා පැහැදිලි ජනවරමක්‌ ලබානොදුන් බවත් එම නිසා රට පාලනය කිරීම සඳහා සමස්‌ත ජනතාවගෙන්ම ජනවරමක්‌ ලබාගැනීමේ අවශ්‍යතාව තමන්ට ඇති බවත් සඳහන් කර සිටියේය. මෙය ඇත්තෙන්ම සැබෑ රාජ්‍යය නායකයකු වෙතින් අපේක්‌ෂා කළ යුතු ඉතා වැදගත් අරමුණක්‌ බව සඳහන් කළ යුතුයි. එහෙත් ඒ සමගම මෙහිදී සිහිගැන්විය යුතු කරුණක්‌ තිබෙන බව ද සඳහන් කළ යුතුයි. ශ්‍රී ලාංකේය ජනසමාජය හා දේශපාලන ක්‍රමය සෑම ජන කොටසකටම වඩාත් ඉඩ සලසන සමාජයක්‌ හා දේශපාලන ක්‍රමයක්‌ බවට පත් කිරීම සඳහා මෙම කාලය තුළ තිරසාර පියවරක්‌ ගැනීමට ඔහුට නොහැකිවූ බව සඳහන් කළ යුතු එම කරුණයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිය පාලන කාලය තුළ වඩාත් අවධානය යොමු කළේ සංවර්ධන සහ වාර්ගික ඒකාබද්ධතාවට අනුබල දෙන ප්‍රතිපත්තියක්‌ කෙරෙහි බව පැහැදිලියි.


ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ගෙන එන ලද 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔහු දැක්‌වූ උදාසීනත්වය තුළින් පැහැදිලි වන්නේ ඔහුගේ ඉහත සඳහන් ප්‍රතිපත්තිය බව කිව යුතුයි. ඇතැම් විට ජනාධිපතිවරයාගේ මෙම ආකල්පය ද්‍රවිඩ ජාතික සන්ධානයේ සිවාජිලින්ගම් වැන්නවුන් දෙමළ දේශපාලනයේ පැරණි මතවාදය කරා තල්ලු කිරීමට හේතුවන්නට ඇතැයි යමෙකුට උපකල්පනය කළ හැකියි. කෙසේ වෙතත් මේ සියල්ල මැද්දේ රටේ බුද්ධිමත් ජනතාව තුළ පැන නගින සාධාරණ ප්‍රශ්නයක්‌ තිබෙන බව සඳහන් කළ යුතුයි. ද්‍රවිඩ සන්ධානයේ විවිධ පාර්ශ්වකරුවන් අතර පවතින සිංහල විරෝධී දැඩි ආකල්පය හමුවේ. සරත් ෆොන්සේකා වෙතින් කිසිම දෙයක්‌ බලාපොරොත්තු නොවී, ඔහුගෙන් කිසියම් ඉල්ලීමක්‌ නොකර ද්‍රවිඩ සන්ධානයේ සම්බන්ධන් ප්‍රමුඛ කණ්‌ඩායම මේ විදියට සරත් ෆොන්සේකාට සහාය දැක්‌වීමට තීරණය කළේ මොන හේතුවක්‌ නිසාද? යන්න දකුණේ ඡන්දදායකයන් තුළ පැනනැගෙන සැකසහිත ප්‍රශ්නයයි. සම්බන්ධන් මුළු රටෙන්ම යමක්‌ සැඟවීමට උත්සාහ ගන්නවාද යන සැකය යමකු තුළ ඇති වුවහොත් එය පුදුමයට කරුණක්‌ නොවන බවද සඳහන් කළ යුතුයි.


සුමනසිරි ලියනගේ සිය ලිපිය මගින් දක්‌වා ඇති පරිදි මේ අවස්‌ථාවේ මෙරට ද්‍රවිඩ දේශපාලනව්‍යාපාරයේ වංශකතාව ගැන මදක්‌ විමසා බැලීම වැදගත් වනු ඇත. ද්‍රවිඩ දේශපාලන ව්‍යාපාරයේ මූලාරම්භක පක්‍ෂය වන "ෆෙඩරල් පක්‍ෂය" බිහිවීම මේ රටේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සංවිධානය වන කාලවකවානුව තුළම සිදුවුවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දේශපාලන දර්ශනයට පදනම් වූ අධිරාජ්‍යය විරොධී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය සමග ෆෙඩරල් පක්‍ෂය කිසිවිටෙකත් එකඟ නොවූ බව සත්‍යයකි. ෆෙඩරල් පක්‍ෂය වඩාත් කැමැත්ත දැක්‌වූයේ එක්‌සත් ජාතික පක්‍ෂය සමග සබඳතාව පැවත්වීම සඳහායි. ඔවුන්ගේ පිළිගැනීම වූයේ එක්‌සත් ජාතික පක්‍ෂය සමග සහජීවනය ඔවුන්ට වඩාත් පහසු බවයි.


රටසභා ක්‍රමය ලබාදීම, දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක්‌ ලෙස පිළිගැනීම යන ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ මෙරටේ වාමවාදී දේශපාලන පක්‍ෂ සමග සම්බන්ධ වී කටයුතු කිරීමට පවා ෆෙඩරල් පක්‍ෂ කැමැත්තක්‌ දැක්‌වූ බවක්‌ නොපෙනේ. මෙලෙස ෆෙඩරල් පක්‍ෂය තුළ වූ දක්‍ෂිණාංශික දේශපාලන නැඹුරුව හේතුවෙන් මෙරටේ සමස්‌ත දේශපාලනය කෙරෙහි බලපෑ දිළිඳුකම පිළිබඳ ප්‍රශ්නය, සමාජ විෂමතාවයන් යන පොදු ප්‍රශ්න වෙතින් ද්‍රවිඩ ජාතික ප්‍රශ්නය වෙන්කර පෙන්වීමට ෆෙඩරල් පක්‍ෂය සමත්වූ බවයි පෙනීයන්නේ. මෙම තත්ත්වය යටතේ සරත් ෆොන්සේකාට සහ ඔහුට සහය දක්‌වන ප්‍රධාන දේශපාලන පක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂයට සමීපවීම පිළිබඳ වැඩි කැමැත්තක්‌ සම්බන්ධන්ගේ කණ්‌ඩායම දැක්‌වීම පුදුම වියයුතු කරුණක්‌ නොවන බවද සඳහන් කළ යුතුය.


සම්බන්ධන් ප්‍රමුඛ කණ්‌ඩායම ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ එල්. ටී. ටී. ඊ. නියෝජිතයන් වශයෙන් කටයුතු කළ බව මුළු ලොවම දන්නා කරුණකි. ආනන්ද සංගරි වැනි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ද්‍රවිඩ සන්ධානයෙන් ඈත්වීමට හේතුවූයේත් එම කරුණයි. එල්. ටී. ටී. ඊ. ය. මගින් කෲර ලෙස ඝාතනය කළ ද්‍රවිඩ නායකයන් වන අමිර්තලිංගම්, යෝගේෂ්වරන්, යෝගරාජන්, නීලන් තිරුචෙල්වම් යන නායකයන්ගේ මරණ සම්බන්ධයෙන් සම්බන්ධන් අනුගමනය කළේ මුනිවත රැකීමේ පිළිවෙතකි. ඒ වගේම එල්. ටී. ටී. ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම නිසා මහින්ද රාජපක්‍ෂ සමග සහ ඔහුගේ රජය සමග දැඩි වෛරයෙන් පසුවන යම් ජන කොටසක්‌ ද්‍රවිඩ ජනතාව අතර තවමත් සිටින බව ඔහුට පෙනී යන්නට ඇත. වෙනම ද්‍රවිඩ ඊළාම් රාජ්‍යයක්‌ කවදා හෝ බිහි කිරීමට හැකිවේයෑයි තවමත් සිහින දකින කොටසක්‌ද ද්‍රවිඩ ජනතාව අතර සිටින බව සම්බන්ධන් විසින් පිළිගන්නා බවයි ඉන් පෙනීයන්නේ. එල්. ටී. ටී. ඊ. ය සතුව තිබූ සම්පත් ප්‍රමාණය එමෙන්ම ඔවුන්ගේ යුදමය ශක්‌තිය, සිය විරුද්ධවාදීන් සමූල ඝාතනය කිරීමට සැහැසි වූ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් සලකා බලන කල ඊළාම් රාජ්‍යයක්‌ ගොඩනැගීම පිළිබඳ ඔවුන්ගේ අරමුණ තවමත් නොවෙනස්‌ව පැවතීම සම්බන්ධයෙන් අප කිසිවකුත් විමතියට පත් විය යුතු නැති බව සඳහන් කළ යුතුය.


ද්‍රවිඩ ජනතාව අතර තවමත් ඉතිරිව සිටින ඊළාම්වාදීන් සහ එල්. ටී. ටී. ඊ. හිතවාදීන් තුළ පවතින මෙම හැඟීම් හොඳින් හඳුනන සම්බන්ධන්ට අද අවශ්‍යව ඇත්තේ, එම හැඟීම් දියවී යන්නට පෙර නැවතත් වර්ගවාදී දේශපාලනය දියත් කිරීම සඳහා විශේෂයෙන්ම උතුරු කරයේත් සමස්‌ත දේශපාලන ක්‍රියාදාමය තුළත් ඉඩකඩක්‌ ලබාගැනීමයි. ඒ සඳහා අද අවශ්‍යව ඇත්තේ රටේ පවතින දේශපාලනය තුළ වෙනසක්‌ ඇති කරමින් රට තුළ යම් අස්‌ථාවරත්වයක්‌ ඇති කිරීමයි. එය කළ හැකි බවට ඔහු තුළ පවතින්නේ තදබල විශ්වාසයකි.


සම්බන්ධන් පුන පුනා කියා සිටින්නේ තමන්ගේ කණ්‌ඩායම සරත් ෆොන්සේකාට සහාය දෙන්නේ කොන්දේසි විරහිතව බවයි. එහෙත් ඔහුගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් රටේ බුද්ධිමත් ජනතාව විසින් නැගිය යුතු වැදගත් ප්‍රශ්නයක්‌ තිබෙන බව සඳහන් කළ යුතුයි. 2000 වර්ෂයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පනතින් ලබාදීමට උත්සාහ කළ පුළුල් බලතල සහිත පළාත් පාලනය ප්‍රමාණවත් නැතැයි කියා විරුද්ධ වූ ද්‍රවිඩ ජාතික සන්ධානය සරත් ෆොන්සේකාට කොන්දේසි විරහිතව සහයෝගය දැක්‌වීමට එකඟවන්නේ ය. යන කීම ඇදහිය හැකිද යන්න එම වැදගත් ප්‍රශ්නයයි. 2002-2004 වර්ෂයේ පැවති රනිල් වික්‍රමසිංහ රජය මගින් ඉදිරිපත් කරන ලද දේශපාලන විසඳුම් මාලාවද ද්‍රවිඩ ජාතිවාදී දේශපාලනයේ අපේක්‍ෂාවන් බොහොමයක්‌ ගොනුකොටගත් විසඳුමක්‌ බව කවුරුත් දන්නා කරුණකි. පුළුල් බලතල සහිත ෆෙඩරල් ව්‍යqහයක්‌ පවා ලබාදීමට වික්‍රමසිංහ එදා එකඟවිණි. මේ කිසිවකින් සෑහීමකට පත්නොවූ ද්‍රවිඩ ජාතික සන්ධානය කොන්දේසි විරහිතව සරත් ෆොන්සේකාට සහය දක්‌වන්නට ඉදිරිපත් වන්නේ ගමේ භාෂාවන් කියනවා නම් මොන කෙංගෙඩියකටද කියන ප්‍රශ්නය අප කා තුළත් ඇති වන බව කිව යුතුයි. එය සාධාරණ ප්‍රශ්නයක්‌. 2005 පැවති ජනාධිපතිවරණය මුළුමනින් ප්‍රතික්‌ෂේප කිරීමට කටයුතු කළ ද්‍රවිඩ සංධානය සරත් ෆොන්සේකා වෙත කිසිම බලපෑමක්‌ නොකොට සහයෝගය දක්‌වනවා යෑයි කීම විශ්වාස කළ හැකි ප්‍රකාශයක්‌ද යන්න මේ රටේ ජනතාව නැගිය යුතු ප්‍රශ්නයක්‌. සම්බන්ධන් විසින් ගෙන ඇති එම තීරණයට පාදක වූවායෑයි සිතිය හැකි කරුණු පිළිබඳව ආචාර්ය සුමනසිරි ලියනගේ සිය ලිපිය තුළ පැහැදිලි ලෙස විග්‍රහකොට ඇත. ඔහු කියන පිරිදි සරත් ෆොන්සේකාට සහය දැක්‌වීමට ද්‍රවිඩ සන්ධානයේ සම්බන්ධන් පාර්ශ්වය ගත් තීරණයත් සමග සිදුව ඇත්තේ දෙවන ඊළාම් මෙහෙයුම ආරම්භ කිරීමයි. ද්‍රවිඩ ජාතිවාදී දේශපාලනයෙන් ඔද්දල්වී සිටින සම්බන්ධන් හොඳින් දන්නා කරුණක්‌ මෙහිදී සඳහන් කළ යුතුයි. එල්. ටී. ටී. ඊ. යුදමය ශක්‌තිය උපරිම වශයෙන් හීනවී තිබෙන තත්ත්වයක්‌ යටතේ මැතිවරණය ප්‍රතික්‍ෂේප කිරීම පලක්‌ නොවන බව සම්බන්ධන් දනී. ගෙ-න්ද්‍ර කුමාර් දනී. පොන්නම්බලම්ට වැඩිය සම්බන්ධන් එය හොඳින් දන්නා බව පිළිගත යුතුයි. ඔහුට මේ වේලාවේ වඩාත්ම අවශ්‍යවී ඇත්තේ දකුණේ දේශපාලනය තුළ අස්‌ථාවරත්වයක්‌ ඇති කරමින් ඒ හරහා රට තුළ ව්‍යාකූලත්වයක්‌ ඇති කිරීමත් එමගින් සිය දෙවන ඊළාම් මෙහෙයුම දියත් කිරීම සඳහා යම් ඉඩකඩක්‌ ලබාගැනීමත්ය.


ද්‍රවිඩ ජාතිවාදී දේශපාලන ව්‍යාපාරයේ අතීතය, වර්තමානය සහ ඔවුන්ගේ අනාගත අපේක්‍ෂාවන් ගැන සලකා බලන කල පෙනී යන්නේ සම්බන්ධන් ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධානයේ කණ්‌ඩායම සරත් ෆොන්සේකාට සහාය දැක්‌වීම සඳහා ගත් එම තීරණය විවිධ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ගන්නා ලද තීරණයක්‌ වුවද එම තීරණය ඒකායන අරමුණක්‌ කෙරෙහි යොමු වූ තීරණයක්‌ බවයි. ඔවුන්ගේ එම නොවෙනස්‌ ඒකායන අරමුණ වන්නේ මෙම රට තුළ කෙසේ හෝ වෙනම ද්‍රවිඩ රාජ්‍යයක්‌ පිහිටුවීමට බව සක්‌සුදක්‌ සේ පැහැදිලිය. දෙමළ ජාතිවාදී දේශපාලන සම්බන්ධයෙන් ද අයිලන්ඩ් පුවත්පතට සැපයූ ලිපියෙහි ඇතුළත් විශ්ලේෂණය අවසන් කරමින් ආචාර්ය සුමනසිරි ලියනගේ වැදගත් ප්‍රශ්න කිහිපයක්‌ නඟා ඇත. ඔහු නගා ඇති ඒ ප්‍රශ්න සියල්ලට පිළිතුරු ඇත්තේ මේ රටේ සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් යන ජනතාව වෙතයි. සමස්‌ත ශ්‍රී ලංකාවාසී ජනතාවම මෙම ජනාධිපතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කළ යුත්තේ මේ ප්‍රශ්න ගැන හොඳින් සලකා බැලීමෙන් පසුවය.


වසර 30 කට අධික කාලයක්‌ තිස්‌සේ ජාතිවාදී දේශපාලනය නිසා ලෙයින් කඳුලින් වන්දි ගෙවූ මෙරටේ ජනතාව නැවතත් සම්බන්ධන් වැනි අය විසින් අටවා ඇති ඊළාම් උගුලට අසුවිය යුතුද? යන්න පිළිතුරු දිය යුතු පළමු ප්‍රශ්නයයි. ද්‍රවිඩ ජාතිවාදී නායකයන් විසින් යළි ඉස්‌මතු කරමින් සිටින වර්ගවාදී දේශපාලනය තුළ ද්‍රවිඩ ජනතාව යළිත් කොටුවිය යුතුද? යන්න ඒහා සමගම නැගිය යුතු තවත් ප්‍රශ්නයකි. එසේ නොමැති නම් අද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක්‌ව රටේ සමස්‌ත දේශපාලනය තුළ සිය අයිතිවාසිකම් දිනාගැනීමට උත්සාහ දරන ඊ. පී. ඩී. පී., ප්ලොට්‌, ටී. එම්. වී. පී., වැනි සංවිධාන ගෙන ඇති ගමන් මගට අවතීර්ණ වනවාද යන තීරණය රටේ ද්‍රවිඩ ජනතාව විසින් මෙවර සිය ඡන්දය පාවිච්චි කිරීමේදී සැලකිල්ලට ගත යුතු වැදගත් ප්‍රශ්න බව සඳහන් කළ යුතුයි. එමෙන්ම දකුණේ සිටින ජනතාව විසින්ද අමතක නොකළ යුතු ප්‍රශ්නයක්‌ ඇත. එය නම් එල්. ටී. ටී. ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කළත් ඊළාම්වාදීන්ගේ අඳුරු සෙවණැලි මුළුමනින්ම පහවී නොමැති බව ය. එය අපි හොඳින් සිහි තබාගත යුතුය. එය විවිධාකාරයෙන් කොයි මොහොතේ හෝ ඉස්‌මතුවීමට ඉඩ ඇති බවද අප අමතක නොකළ යුතුය. මෙවැනි තත්ත්වයක්‌ යටතේ දකුණේ ජනතාව සිය ඡන්දය පාවිච්චි කළ යුත්තේ සිය පක්‍ෂ සීමාවෙන් ඔබ්බට ගොස්‌ අප දිනාගත් නිදහස තහවුරුකරමින් සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි ශ්‍රී ලංකාවක්‌ ගොඩනැගීමේ අරමුණ ඇතිව බව මගේ පිළිගැනීමයි.






සිංහලට පරිවර්තනය කළේ


කුමාර් අබේසිංහ

No comments:

Post a Comment