Wednesday 31 March 2010

අධිකරණය විනාශ කළේ සරත් එන් සිල්වා -අධිනීතිඥ එස්. එල්. ගුණසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මානෙල්මල් ව්‍යාපාරයේ කැඳවුම්කරු

සාකච්ඡා කළේ චන්දන ජයවීර-දිනමිණ

1985 දී භූතානයේ තිම්පු නුවර පැවැති සාම සාකච්ඡාවලට රජයේ නියෝජිතයා ලෙස හා ඉන් අනතුරුව ඉන්දීය රජය සමඟ පැවැති බලය බෙදාහැරීම පිළිබඳ සාකච්ඡාවලට ශශ්‍රී ලංකා රජයේ ගෞරවාන්විත උපදේශකවරයෙක් ලෙස සහභාගි වූ එස්. එල්. ගුණසේකර මහතා, වෘත්තියෙන් අධිනීතිඥවරයෙකි. ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව පිළිබඳ හා හිටපු අගවිනිසුරුවරයාගේ පාලන සමයේ දෙනු ලැබූ තීන්දු පිළිබඳ ඔහු දක්වන අදහස් මෙසේ පළවේ. ජන වරමක් ලබා බලයට පත්වන රජයකට කථානායකවරයා පවා පත්කරගත නොහැකි තත්ත්වයක් පසුගිය කාලයේ දී අපට දක්නට ලැබුණා. එය මෙරට පාර්ලිමේන්තු ක්‍රමයේ අර්බූදයක් ඇති කිරීමටත් හේතුවී තිබෙනවා. මෙවැනි ගැටලුවක් නිර්මාණය වීමට වර්තමාන මැතිවරණ ක්‍රමය හා ව්‍යවස්ථාව වගකිව යුතු බවට පළවී ඇති මතය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?


1956 දී කේවල ක්‍රමය යටතේ එක්සත් ජාතික පක්‍ෂය ආසන 8 ට බැස්සා. ජේ.ආර් ගේ ආසනයත් නැතිවෙලා ගියා. ඒ නිසා ඔහුට වුවමනා වුණා, එවැනි තත්ත්වයක් මින් පස්සෙ ඇතිවීම වළක්වන්න. කෙසේ හෝ එ.ජා.පයට සෑහෙන මන්ත්‍රී සංඛ්‍යාවක් තබා ගැනීමටත්, ඔහුගේ බලය හැම විටම තහවුරු කර ගැනීමටත් ජේ. ආර්ට අවශ්‍යය වුණා. පාර්ලිමේන්තු ක්‍රමය යටතේ අගමැතිවරයාට හිමිව තිබූ බලතල හා තව බලතල කිහිපයක් එකතුකොට අසීමිත බලතල ප්‍රමාණයක් ජනාධිපතිවරයා වෙත ඒකරාශී කරලා, ඔහු නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළා.

රජය ඉදිරි මහ මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු වර්තමාන ව්‍යවස්ථා සංශෝධනය කිරීමට අදහස් කරනවා. එය සිදු විය යුත්තේ කුමන ආකාරයට ද?
ජනතාවට ඔවුන්ගේ අපේක්‍ෂකයා තෝරා ගත හැකි පරිදි ගම් සභා ක්‍රමය පදනම් කරගත් මැතිවරණ ක්‍රමයකට අප යායුතුයි. පක්‍ෂවලට විශේෂ තැනක් දෙන්න අවශ්‍ය නැහැ. එවිට පළාතට විශාල සේවයක් කළ හැකි, කැපවීමක්, ඉගෙනීමක් ඇති සාමාන්‍ය පන්තියේ අයට පාර්ලිමේන්තුවට පැමිණිය හැකියි. ගමක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම එම ගමේ ගම්සභා නියෝජිතයාට භාරදිය යුතුයි. පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු තෝරා පත්කර ගත යුතු වන්නේ එම පළාතේ ගම් සභාවල නියෝජිතයන්ගේ ඡන්දයෙන්. එවිට නියම ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙනවා.
* හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා මහතාගේ පාලන කාලයේදී අධිකරණ ක්‍රමයේ බිඳ වැටීමක් සිදුවූ බවටත්, එයට ඔහු ඍජුවම වගකිව යුතු බවටත් මත පළවී තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ මතය කුමක්ද?
අධිකරණ ක්‍රමයේ බිඳ වැටීම පටන් ගත්තේ නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයාගේ විශ්‍රාම යාමෙන් පසුව පත් වූ ෂර්වානන්ද මහතාගේ කාලයේදී. ඔවුන් දෙදෙනාම පත් කළේ 77 න් පසු බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන රජය විසින්. නෙවිල් සමරකෝන් මහතා පත් කළේත් වැරැදි හේතු නිසා. ඒත් එතුමා ඉස්තරම්ම වර්ගයේ අග විනිසුරුවරයෙක් වුණා.
එතුමාට තිබුණු ගරුත්වය වෙනත් කිසිම අගවිනිසුරුවරයෙකුට ලැබුණයි කියලා මං හිතන්නෙ නෑ. ඊට පස්සේ ක්‍රම ක්‍රමයෙන් අධිකරණය කෙරෙහි මහ ජනතාවගේ තිබුණු ගරුත්වය අඩු වුණා. සරත් එන්. සිල්වා ආවට පස්සෙ ඔහුගේ විකාර නැටුම් එක්ක අධිකරණ ක්‍රමය හොඳටම බිඳ වැටුණා. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලේ මගේ හොඳ මිත්‍රයෙක්. ඒ නිසා මං කනගාටුවෙන් වුණත් කියන්නේ, ඔහු අධිකරණය හරහා ඒකාධිපති පාලන ක්‍රමයක් ගෙන ගියා කියලයි. කවදාවත් කවුරුවත් හිතුවෙ නැති දේවල් ඔහුගේ කාලයේදී අධිකරණයේ සිදු වුණා.
ඔහු රාජසන්තක කළ ගජමුතු, ඔහුට හිතවත් අයට පරිත්‍යාග කළා. රජය සන්තක දේවල් එහෙම කැමැති කැමැති ආකාරයට පරිත්‍යාග කරන්න බැහැ. වෙන දේවලට අමතරව ඔහු ඔය වගේ දේවලුත් කෙරුවා. ඒවා ගැන මං කතා කරන්න කැමැති නැහැ. අධිකරණයේ විනාශයට හේතුවූ ප්‍රධානතම චරිතය සරත් එන්. සිල්වා කියලා මට ඍජුවම ප්‍රකාශ කරන්න පුළුවන්.
* හිටපු අගවිනිසුරුවරයා මහජන නියෝජිතයන් විසින් ගතයුතු තීරණයන් ද ගනු ලැබූ බවට චෝදනාවක් නැඟෙනවා.
විධායකය සතුව තිබෙන බලතල අධිකරණය භාවිත කිරීම වැරැදියි. ඔහු අධිකරණයට කිසිම අයිතියක් නැති පෙට්ට්‍රල්වල මිල නියම කිරීමට පවා ගියාම ඒක අධිකරණයේ වැඩ කොටසක් නෙවෙයි. තවත් අවස්ථාවක ඔහු වේග සීමා පැනවීම පිළිබඳ තීන්දුවක් දුන්නා. වැලිගම ප්‍රදේශයට අදාළ ප්‍රශ්නයක් කේන්ද්‍ර කරගෙන ඔහු මුළු රටේම ශබ්ද විකාශන බලපත්‍ර අහෝසි කළා. ඒක එයාට අදාළ දෙයක් නෙමෙයි. විධායකයට අයිති දෙයක්. ඔහු කෙසේ හෝ දේශපාලනයට පිවිසීමට උත්සාහයක් ගන්නා බවට මට විශ්වාසයක් තිබුණා. එච්. එල්. ද සිල්වා මහතා රචනා කළ ග්‍රන්ථය ප්‍රකාශයට පත් වූ දිනයේදී මා කරන ලද සමාලෝචනයේ දී සමාජයට ඉඟි කිරීමක් කළා.
* ඔහුට දේශපාලනයට අවතීර්ණ වීමට නැමියාවක් තිබුණු බවට ඔබ විශ්වාස කරන්නේ කුමන සාධක මතද?
ඔහු බලයට පත් වූ මුල් කාලයේ දී අධිකරණයට ඉදිරිපත් වූ මානව අයිතිවාසිකම් නඩු තොග පිටින් දොට්ට දැමූ අයෙක්. ඒත් ඔහු අවසාන කාලයේ දී, හදිස්සියේම වාගේ විශාල නඩු ප්‍රමාණයක් අහන්නටත්, බරපතළ තීන්දු ප්‍රකාශයට පත් කරන්නටත් පටන් ගත්තා. මේවා මතුපිටින් සාමාන්‍ය ජනතාවට හිතකර සේ පෙනෙන තීන්දු.
ඒ වගේම රට වටේ ගිහිල්ලා අධිකරණ විවෘත කරන්න පටන් ගත්තා. ඔහු ඒ උත්සවවලදී මන්ත්‍රීවරයෙක් වගේ ගෙල වටේ මල්මාලා ගණනාවක් පළඳවාගෙන, දේශපාලන කතා පැවැත්වුවා. බැලු බැල්මට පෙණුනා ඔහු දේශපාලනයට පිවිසීමට අදහස් කරන බව.

ඔහු ශ්‍රී ලංකාවේ ඉන්න මිනිසුන් අතරින් එක්තරා ආකාරයකින් දක්‍ෂතම පුද්ගලයෙක්. ඔහුට හොඳ මොළයක් තියෙනවා. ඔහු කිසියම් පක්‍ෂයක් ඇතුළට ගියානම් ඒ පක්‍ෂයේ නායකයාට තැනක් ලැබෙන්නේ නැහැ. ඔහු කොහොම හරි ඒ පක්‍ෂයේ නායකත්වය ලබා ගන්නවා. මං ඔය ගැන කළින්ම හිතලා ඒ කාලෙම වක්‍රව කිව්වා. කෙළින් කිව්වා නම් මාවත් හිරේ දානවා.

* එවැනි පුද්ගලයෙක් දේශපාලනයට පැමිණීම කුමන ප්‍රතිඵලයක් ඇති කළ හැකිද?

දේශපාලනයට එන්න ඕන රට ජාතිය ගැන කැක්කුමක් තියෙන අය. රටට වැඩක් කිරීමට අදහසක් තියෙන අය. එහෙම නැතිව තමුන්ට වැඩක් කරගන්න උත්සාහ කරන පුද්ගලයෙක් නෙවෙයි.

* කෙසේ වෙතත් ඔහු අද ජ.වි.පෙ ප්‍රමුඛ සන්ධානයේ ඉදිරි පෙළ නායකයෙක් නොවේද?

ජනතා විමුක්ති පෙරමුණ දන්නවා, සෝමවංශ අමරසිංහගෙ නායකත්වයෙන් ආව නම් ඒගොල්ලන්ට ආසනයක කෑල්ලක්වත් ගන්න ලැබෙන්නේ නැති බව. අද ඔවුන් සරත් ෆොන්සේකාව, සරත් සිල්වාව ඉදිරියට දාගෙන බලන්නෙ කොහොම හරි ආසනයක්වත් ගන්නයි. නැතිව මේ ගොල්ලන්ව ඉස්සරහට දාල තියෙන්නේ ඔවුන්ට තියෙන ආදරයක් නිසා නොවෙයි.

* පසුගිය ජනාධිපතිවරණයේ දී එක්ව තරග කළ එ.ජා. පයට හා ජ.වි.පෙට මෙම මහ මැතිවරණයේ දී එක්ව තරග කළ නොහැකි වූයේ ඇයි?
ෆොන්සේකාට ඕන වුණා ඒ සන්ධානයේ නායකයා වෙන්න. ඉන්පසු එමඟින් විපක්‍ෂ නායකයා වෙන්න. රනිල්ට ඕන වුණා විපක්‍ෂ නායකයා එයා වෙන්න. අමරසිංහ දැනගත්තා එයාට කවදාවත් මොන නායකයාවත් වෙන්න බැහැ කියලා. ජේ. වී. පියට ඕන සන්ධානයක් හදාගෙන ආසන හතර පහක් ලබා ගන්න. නැත්නම් ඒ ගොල්ලන්ට එක ආසනයක්වත් ලැබෙන්නේ නැහැ. මංගල සමරවීර ෆොන්සේකා අත් ඇරලා යූ.එන්.පිය පස්සේ ගියේ ඇයි? මේක තනිකරම තනතුරු ලබාගන්න කරපු බල අරගලයක්. ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නම් ලකුණු පිළිබඳ ප්‍රශ්නය විසඳන්න බැරිද?

* විපක්‍ෂ නායකවරයා මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමටත් පෙර සියලුම අපේක්‍ෂකයන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගැනීම මහජන නියෝජිතයන්ගේ ස්වාධීනත්වය කෙරෙහි බලපෑ හැක්කේ කෙසේ ද?

ඒක අපේ අවධානයට ලක් විය යුතු ප්‍රශ්නයක්. මෙම මැතිවරණ ක්‍රමය තුළ දේශපාලන පක්‍ෂ අපේක්‍ෂකයන් තෝරා ගැනීමේ දී සලකා බලන්නේ මෙයාට සල්ලි තියෙනවද? එහෙම නැත්නම් මෙයාට ඡන්දය දිනන්න ශක්තිය තියෙනවද කියලා විතරයි. නමුත් ඔහු පාර්ලිමේන්තුවට යාමට සුදුස්සෙක්ද කියලා හිතන්නේ නැහැ. ඔහු අවංක ප්‍රතිපත්තිගරුක මනුස්සයෙක් ද කියලා හිතන්නේ නැහැ. දේශපාලන පක්‍ෂ අපේක්‍ෂකයන් පත් කරන කොට ඔවුන් අවංක දේශමාමක පුද්ගලයන්ද, ඔවුන්ට පිට කොන්දක් තියෙනවද? ප්‍රතිපත්තියක් තියෙනව ද කියලා බලන්න ඕන.
රනිල් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගැනීමෙන් පෙන්වා තිබෙන්නේ එ.ජා.ප යෙන් මැතිවරණයට ඉදිරිපත් කොට තිබෙන අපේක්‍ෂකයන් කෙරෙහි ඔහුට අබමල් රේණුවක තරම්වත් විශ්වාසයක් නැති බවයි. ඒ වගේ පිරිසක් තමයි ඔවුන් පාර්ලිමේන්තු යවන්න උත්සාහ කරන්නේ. එතකොට මොකක්ද මෙතැන තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය. මහජනතාව තෝරාගත්ත පුද්ගලයෙකුට ඔහුට ලැබෙන ජනවරම අනුව කටයුතු කරන්න බැහැ. මෙතැනදි රනිල් කියන්නේ මට ජනතාවගෙන් වැඩක් නැහැ උඹලා ඇවිල්ලා මම කියන දේ කරපල්ලා කියලයි.
* ඔහු මෙලෙස දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

රනිල්ට වුවමනා රාජ්‍යය බලය ලබා ගන්න නෙවෙයි. එයා කැමැති දිගටම විපක්‍ෂනායකවරයා විදිහට ඉන්න. එම තනතුරේ වගකීම් අඩුයි. අනුන්ගේ වැරැදි පෙන්න පෙන්න එයාගෙ වැරැදි සඟවාගෙන ඉන්න පුළුවන්. ඊට අමතරව විපක්‍ෂනායකධුරයේ බලය පාවිච්චි කරමින් ලෝකේ වටේ යන්න පුළුවන්.

* පසුගිය යුද සමයේ සිදුවුවා යැයි සැලකෙන මානව හිමිකම් උල්ලංඝණය වීමේ සිදුවීම් පරීක්‍ෂා කිරීමට එ.ජා. සංවිධානයේ මහ ලේකම්වරයා විසින් පත් කිරීමට අදහස් කළ උපදේශක කොමිටියට රජය විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සාධාරණ ද?

අපේ නීතිය අන්තර් ජාතික නීතියට ඉහළින් පවතිනවා කියන රජයේ ස්ථාවරය හා මා එකඟයි. ශ්‍රී ලංකාවේ තිබුණේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඒකට ඇඟිලි ගහන්න විදේශයකට අයිතියක් නැහැ. ඇෆ්ගනිස්ථානයේ අමෙරිකානු හමුදා කරන දේවල් ගැන සොයා බලන්න අපිට අයිතියක් තියෙනවද? ඒක අපේ වැඩක් නෙවෙයි. එක රටකට බැහැ තවත් රටකට කියන්න උඹලා මේ වගේ හැසිරෙන්න ඕන කියලා. එ.ජා. සංවිධානය වුණත් සාධාරණ ලෙස අමෙරිකාව, එංගලන්තය වගේ බලවත් රටවල කරන දේවල් ගැනත් හොයා බලනවද? ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන එක තමයි ලොකුම විහිළුව.

* ඉදිරි මහ මැතිවරණයේදී ඔබ නියෝජනය කරන ජාතික සංවිධාන එකමුතුවේ සහය හිමිවන්නේ කුමන දේශපාලන බලවේගයට ද?

මෙම මහ මැතිවරණයේ දී මගේ ඡන්දය පැහැදිලිවම එක්සත් ජනතා සන්ධානයට හිමිවෙනවා. නමුත් කාටද මනාපය දෙන්නේ කියන ගැටලුව තියෙනවා. මම මේ මොහොතේ ජනතාවට කියන්නේ ඔවුන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි.

මහජනයා ඔවුන්ගේ බහුතර කැමැත්තෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිධුරයට තෝරාගෙන තිබෙනවා. ඔහුට රජයේ වැඩ කොටස බාධාවකින් තොරව, අනෙක් පක්‍ෂවල මිනිස්සුන්ගේ පස්සෙන් නොගිහින් කරගත්න, ස්ථාවර පාලනයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය බහුතර බලයක් ලබා දිය යුතුයි. ඒ වගේම මනාපය ප්‍රකාශ කිරීමේදී රටට හා ජනතාවට වැඩක් කළ හැකි ආදර්ශමත්, අවංක මැර ක්‍රියාවලට සම්බන්ධ නොවූ පුද්ගලයන් දිනවිය යුතුයි.

No comments:

Post a Comment