Friday 5 March 2010

ධනුනගේ තවත් ගිණුම් අටක තොරතුරු රහස් පොලිසියට වහාම ඒවා ලබාදෙන්නැයි බැංකු දෙකකට උසාවි නියෝග

කුමුදු හෙට්ටිආරච්චි-දිනමිණ
‘හයිකෝප්’ සිද්ධියේ සැකකරුවකු වන ධනුන තිලකරත්න, රාජ්‍ය හා පෞද්ගලික බැංකු දෙකක පවත්වාගෙන යන තවත් ගිණුම් අටක විස්තර රහස් පොලිස් නිලධාරීන්ට ලබාදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම බැංකු කළමනාකරුවන්ට ඊයේ (4) නියෝග කළාය. රහස් පොලිසියේ මූල්‍ය අංශය ධනුන තිලකරත්නගේ ජාතික හැඳුනුම්පත් අංකය ඔස්සේ සිදුකළ විමර්ශනයකින් පසු සැකකරුට අයත් මේ බැංකු ගිණුම් අට සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කැරගත් බව ද රහස් පොලිසිය ඊයේ (4) අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේ ය.මේ ජාතික හැඳුනුම්පත් අංකය මේ සිද්ධියේ දෙවැනි සැකකරු වන ධනුන තිලකරත්නගේ ම බවට නිශ්චිත දැයි මහේස්ත්‍රාත්වරිය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රහස් පොලිසිය පවසා සිටියේ එම හැඳුනුම්පත් අංකය ධනුන තිලකරත්නගේ බවට පරීක්ෂණ නිලධාරීන් තහවුරු කැරගෙන ඇති බව ය. සැකකාර ධනුන තිලකරත්නගේ ජාතික හැඳුනුම්පත් අංකය ඔස්සේ කොළඹ හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුවේ ගිණුම් අංක 015018906001, 015018906025, 015018906040, 015018906120 සහ ලංකා බැංකු මූලස්ථානයේ එස්.එෆ්. අයි. ඩී. ඒ. අංක 9279592, 9339965, 9751422 සහ අනේවාසික ගිණුම් අංක 9751664 සඳහන් ගිණුම් පවත්වාගෙන යන බවට අනාවරණය වී ඇතැයි ද රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේය. සැකකාර ධනුන තිලකරත්න පවත්වාගෙන යන මේ ගිණුම්වලට අදාළව ලැබී ඇති මුදල් “හයිකෝප්” වංචාවෙන් ලබාගන්නා ලද මුදල් ද යන්න සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්විය යුතුව ඇතැයි ද රහස් පොලිසිය ඊයේ අධිකරණයට දන්වා සිටියේය.

මේ ගිණුම්වල ආරම්භයේ සිට බැංකු ගිණුමේ මුදල් තැන්පත් කිරීම් හා ආපසු ලබාගැනීම්වලට අදාළ විස්තර සහ ඒ පිළිබඳ බැංකු වාර්තා හා ප්‍රකාශයන් ද ධනුන තිලකරත්න විසින් මේ බැංකු දෙකෙහි වෙනත් ගිණුම් පවත්වාගෙන යන්නේ ද පිළිබඳ තොරතුරු එම බැංකු මගින් ලබාගැනීමට අවශ්‍යව ඇතැයි රහස් පොලිසිය ඊයේ අධිකරණයට දන්වා සිටියේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ විස්තර පරීක්‍ෂණ පවත්වන රහස් පොලිස් නිලධාරීන් වෙත ලබා දෙන ලෙසට ඉහත බැංකු දෙකෙහි කළමනාකරුවනට ඊයේ නියෝග කළාය. “හයිකෝප් ප්‍රයිවට් ලිමිටඩ්” ආයතනය යුද හමුදාව වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කැර ප්‍රශ්නගත ටෙන්ඩර් හතරක් ලබාගනිමින් අමෙරිකානු ඩොලර් 2,99,061.25 ක් වංචා කැර ඇති බව පවසයි.
මේ මුදල් යුද හමුදාව මගින් ලංකා බැංකුව හරහා අමෙරිකාවේ පිහිටි “බෑන්ක් ඔෆ් ඇමෙරිකා” හි “බ්‍රිටිෂ් බෝර්නියෝ ඩිෆෙන්ස්” නමැති ගිණුමට බැර වී ඇති බවත් එම ගිණුම ධනුන තිලකරත්නට අයත් බවත් අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය පවසයි. ව්‍යාජ ලේඛන යුද හමුදාවට ඉදිරිපත් කැර මුදල් ලබාගැනීමට අදාළව සැකකාර ධනුන තිලකරත්න දැනට අධිකරණය හා පොලිසිය මඟහරිමින් සැඟව සිටින බව ඊයේ අධිකරණයට පවසා සිටි රහස් පොලිසිය ඉහත වංචාවට අදාළ මුදල සැකකාර ධනුන තිලකරත්නට ලැබී ඇද්ද යන්න සම්බන්ධව පරීක්‍ෂණ සිදුකරන බව ද පැවසීය.
මේ සිද්ධිය සම්බන්ධව සිදුකරන පරීක්‍ෂණ කඩිනම් කරන ලෙසත්, පරීක්‍ෂණ සඳහා අවශ්‍ය නියෝග වෙතොත් ප්‍රමාදයකින් තොරව එම නියෝගයන් අධිකරණයෙන් ලබාගන්නා ලෙසටත් මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට ඊයේ දන්වා සිටියාය.

No comments:

Post a Comment