Friday 12 March 2010

ජෙනරාල් යුද අධිකරණයට -චෝදනා 7ක් යටතේ නඩු විභාග මේ මස 16 - 17 දිනවල- ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති මේජර් ජනරාල් වීරතුංග

ප්‍රාර්ථනා වීරසිංහ-දිනමිණ

විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද්ධ හමුදා පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා හතක් විභාග කිරීම සඳහා යුද්ධාධිකරණ දෙකක් පත් කැර තිබේ.සේනාධිනායක වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත් කරනු ලැබ ඇති මේ යුද්ධාධිකරණ දෙකේ විනිසුරු මණ්ඩල සභාපති ලෙස මේජර් ජෙනරාල් එච්. එල්. වීරතුංග සහ සාමාජිකයන් ලෙස මේජර් ජෙනරාල් ඒ. එල්. ආර්. විජේතුංග හා මේජර් ජෙනරාල් ඩී. ආර්. ඒ. පී. ජයතිලක යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.මේ යුද්ධාධිකරණ දෙක හමුවේ සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා විභාග කිරීම මේ ත්‍රි. පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මේ මස 16 හා 17 දෙදින ආරම්භ කෙරේ. නාවික හමුදා මූලස්ථානයේ දී මේ යුද්ධාධිකරණය රැස්වේ.

රියර් අද්මිරාල් ඩබ්ලිව්. ජේ. එස්. ප්‍රනාන්දු මහතා මේ යුද්ධාධිකරණ දෙකේ විනිසුරු අධිනීතිඥවරයා ලෙස කටයුතු කරයි.විශ්‍රාමික ජෙනරාල් ෆොන්සේකා මහතාට එරෙහිව ගොනු කළ සාක්කි සම්පිණ්ඩන වාර්තාව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත භාරදීමෙන් පසු යුද්ධාධිකරණය සඳහා විනිසුරු මඬුල්ල පත් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ඊයේ (11) පැවැසීය.
විමර්ශනයේදී චෝදනා 7ක් ෆොන්සේකා මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇත. ඒවා කොටස් දෙකක් යටතේ යුද්ධාධිකරණ දෙකක් හමුවේ වෙන වෙනම විභාග කෙරේ. එහි පළමු කොටසට විශ්‍රාමික ජෙනරාල්වරයා ‘ සක්‍රීය සේවයේ යෙදී සිටියදී දේශපාලන කටයුතු වල නිරත වීම” ට අදාළව චෝදනා 3ක් යුද හමුදා පනතේ 124හා 102 (1) වන වගන්ති යටතේ විභාග කෙරේ.
එහි දෙවැනි කොටසට, විශ්‍රාමික ජෙනරාල්වරයා යුද හමුදාවේ භාණ්ඩ මිලදී ගැනීම්වලට අදාළව ප්‍රසම්පාදන කටයුතුවලදී නීතිරීතිවලට පටහැනිව කටයුතු කිරීම අයත් චෝදනා 4ක් යුද හමුදා පනතේ 109 (ඡ් ) වන වගන්තිය යටතේ විභාග කෙරේ.
මේ යුද්ධාධිකරණ දෙකේ විනිශ්චය කටයුතු සඳහා පත් කර ඇති විනිසුරු මඬුල්ලට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සිව් දෙනකු අතිරේක වශයෙන් නම් කර ඇති බවත් ඔවුන් කවුරුන් දැයි හෙළි කිරීමට නොහැකි බවත් කී හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පත් කර ඇති විනිසුරු මණ්ඩලයේ සාමාජිකයකු ඉවත් වුවහොත් අතිරේකව නම් කළ නිලධාරීන් පත් කිරීම සම්ප්‍රදාය බව කීය.
යුද්ධාධිකරණයේ දී නඩු විභාග කෙරෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම විඩියෝ ගත කිරීම හා සාක්කි පටිගත කෙරෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.යුද්ධාධිකරණය ක්‍රියාත්මක වන අතරතුරදී, විශ්‍රාමික ජනරාල්වරයා දැනට රඳවා සිටින ස්ථානයේ කිසිඳු වෙනසක් සිදු නොකරන අතර ඔහු සම්බන්ධයෙන් මෙතෙක් සපයන පහසුකම් සියල්ල ලබා දෙන බවද හෙතෙම පැවසීය.
ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී හමුදා ප්‍රකාශකවරයා මේ අදහස් පළ කෙළේය.

No comments:

Post a Comment