Saturday 6 March 2010

ධනුනගේ මවට රු.කෝටි 7.5 ක්‌ බාරදුන් බව කියන "සෝලිස්‌" හිමිකරු ඇල්ලීමට වරෙන්තු නිකුත් කරයි

අජිත් අලහකෝන්-දිවයින
යුද හමුදා වෙන්දේසියකින් මිලට ගත් ඩිෆෙන්ඩර් රථයකින් ගොස්‌ ධනුන තිලකරත්න මහතාගේ මවට රුපියල් කෝටි 7.5 ක මුදලක්‌ භාර දුන්නේ යෑයි කියන සෝලිස්‌ උත්සව ශාලාවේ හිමිකරු ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්‌ස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා ඊයේ (05 දා) වරෙන්තුවක්‌ නිකුත් කළේය.රහස්‌ පොලිසියේ ඉල්ලීම මත මෙම ඩිෆෙන්ඩර් රථය මුදා නොහැරීමටත් එය අධිකරණය භාරයේ රඳවා තබා ගැනීමටත් මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය. රුපියල් කෝටි 7.5 ක්‌ වටිනා දෙස්‌ විදෙස්‌ මුදල් සම්පත් බැංකුවේ තිඹිරිගස්‌යාය ශාඛාවේ ආරක්‍ෂිත සේප්පු හතරක තිබී රහස්‌ පොලිසිය විසින් පසුගියදා සොයාගනු ලැබිණි. මුදල් විශුද්ධිකරණ පනත යටතේ රහස්‌ පොලිස්‌ නිලධාරීන් විසින් මේ සම්බන්ධව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්නගේ මව අශෝකා තිලකරත්න මහත්මිය අත්අඩංගුවට ගෙන පසුගිය 16 දා ගල්කිස්‌ස ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදුව රුපියල් කෝටි දෙකක්‌ වටිනා ඇප මත මුදා හරිනු ලැබීය. මෙම නඩුව ඊයේ (05 දා) නැවත ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්‌ථාවේ දී රහස්‌ පොලිසිය මහෙස්‌ත්‍රාත්වරයා වෙත වැඩිදුර වාර්තාවක්‌ ඔස්‌සේ මෙතෙක්‌ සිදුකළ පරීක්‍ෂණයන්හි ප්‍රගතිය ඉදිරිපත් කළේය.


මෙම සිද්ධියේදී අශෝකා තිලකරත්න මහත්මියට මුදල් ගෙනැවිත් දුන් ඩිෆෙන්ඩර් රථය සොයාගත් බව ද එහි අංකය කේ. කේ. 2829 බව ද අධිකරණය හමුවේ සඳහන් කළ රහස්‌ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණවලදී මෙම ඩිෆෙන්ඩර් රථයෙන් මුදල් ගෙනගිය පුද්ගලයා හඳුනාගෙන ඇති බව ද පැවැසීය. රාජගිරිය පරණ නාවල පාරේ පදිංචි පී. එල්. දොන් සංජීව කුමාර නමැති මෙම පුද්ගලයා නාවල සෝලිස්‌ උත්සව ශාලාවේ අයිතිකරු බව ද ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර එනම් පසුගිය 17 වැනිදා රටහැර පලාගොස්‌ ඇතැයි ද කීය.
අදාළ ඩිෆෙන්ඩර් රථය යුද හමුදා වෙන්දේසියකින් ලබාගෙන ඇතැයි ද එකී වෙන්දේසියෙන් මෙය මිලට ගැනීමේදී යම් අක්‍රමිකතාවක්‌ සිදුකර ව්‍යාජ ලියවිලි ඉදිරිපත්කර ලබාගෙන ඇත්ද යන්න පිළිබඳ පරීක්‍ෂණ පවත්වන්නේ යෑයි ද රහස්‌ පොලිසියේ පොලිස්‌ පරීක්‍ෂක රොෂාන් මස්‌ඉඹුල මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.
සම්පත් බැංකුවේ සේප්පු හතරක තිබී සොයාගත් රුපියල් කෝටි 7.5 ට අමතරව අශෝකා තිලකරත්න මහත්මිය සතු තවත් බැංකු ගිණුම් නවයක්‌ සොයාගෙන ඇතැයි ද ඊට අමතරව ධනුන තිලකරත්න සතු බැංකු ගිණුම් අටක්‌, ඔවුන්ගේ ඥතීන් වන සේපාලිකා ගල්හේන නමැත්තිය සතු බැංකු ගිණුම් හතරක්‌ සහ ඉසර ජයවර්ධන නමැත්තා සතු බැංකු ගිණුම් හතක්‌ ද සොයාගෙන ඇතැයි රහස්‌ පොලිසිය සඳහන් කර සිටියේය.
මෙම බැංකු ගිණුම්වල ද රුපියල් කෝටි හයකට ආසන්න මුදලක්‌ තිබූ බව ද අධිකරණ නියෝගයක්‌ මත එකී ගිණුම් ද තහනම් කළේ යෑයි තවදුරටත් සඳහන් කළ රහස්‌ පොලිසිය සිද්ධිය සම්බන්ධව තිඹිරිගස්‌යාය සම්පත් බැංකුවේ කළමනාකරුගෙන් ප්‍රකාශයක්‌ සටහන් කරගත් බව ද සඳහන් කළේය.
එම බැංකුවේ CCTV (ආරක්‍ෂිත) කැමරා මගින් ලබාගත් දර්ශන ඔස්‌සේ වැඩිදුර පරීක්‍ෂණ සිදු කෙරෙන බව ද රහස්‌ පොලිසියේ මූල්‍ය වංචා විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රොෂාන් මස්‌ඉඹුල මහතා වැඩිදුරටත් පැවැසීය.
ඩිෆෙන්ඩර් රථය මිලදී ගැනීමට අදාළ පරීක්‍ෂණ සඳහා වෙන්දේසියේදී හුවමාරු වූ ලියවිලි ලබාදෙන ලෙස යුද හමුදාවෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි ද කී මස්‌ඉඹුල මහතා එකී ලියවිලි මෙතෙක්‌ ලැබී නැතැයි ද එම නිසා අදාළ ඩිෆෙන්ඩර් රථය මුදා නොහරින ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment