Thursday 1 April 2010

හයිකොෆ් සමාගම වංචා කළ ඩොලර් ලක්‌ෂ 3 ක්‌ දනුනගේ ගිණුමට බැරවෙලා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

ඒ. ඡේ. ඒ. අබේනායක-දිවයින

ඕස්‌ටේ්‍රලියානු සමාගමක්‌ නමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ශ්‍රී ලංකා යුද හමුදාවට යුද උපකරණ සපයා ශ්‍රී ලංකා හයිකොෆ් සමාගම විසින් වංචා කළ ඇමරිකානු ඩොලර් ලක්‌ෂ තුනකට ආසන්න මුදලක්‌ (ඇ. ඩො. 2,99,061.25) ජෙනරාල් සරත් ෆොන්ස්‌කාගේ බෑණා වන දනුන තිලකරත්න නමැත්තාගේ ගිණුමට බැරවී ඇති බව පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඊයේ (31 දා) වාර්තා කළේය.එම වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන දනුන තිලකරත්න නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ යොදවා පරීක්‌ෂණ දියත් කොට ඇතැයිද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව එහිදී වැඩිදුරටත් අධිකරණයට වාර්තා කළේය. එම වංචාව සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබූ ශ්‍රී ලංකා හයිකොෆ් සමාගමේ ප්‍රධානියා යෑයි කියන සැකකරුව අප්‍රේල් 8 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත භාරයේ තැබීමට මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එහිදී නියෝග කළාය.
දෙවන සැකකරු වන දනුන තිලකරත්න නමැත්තා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසට එහිදී අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරිය පරීක්‌ෂණවල ප්‍රගතිය පිළිබඳව වාර්තාවක්‌ අප්‍රේල් 21 වැනි දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද එහිදී වැඩිදුරටත් නියෝග කළාය.
දනුන තිලකරත්න නමැති සැකකරුට ආරක්‌ෂාව ලබාදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති ඔහුගේ ඥතියකු වන ඊ. එස්‌. තිලකරත්න නමැත්තිය නඩුවේ සැකකාරියක ලෙස නම් කොට තිබීම එම නඩුව ඉදිරියට ගෙනයැමට බාධාවක්‌ වන්නේ යෑයිද පරීක්‌ෂණ නිලධාරීන්ට එහිදී පෙන්වා දුන් මහෙස්‌ත්‍රාත්වරිය අවශ්‍ය උපදෙස්‌ ලබාගෙන අවශ්‍ය නම් ඇයට එරෙහිව වෙනම චෝදනා ගොනු කොට නඩුවක්‌ පැවරීමට පියවර ගන්නා ලෙසද එහිදී නියෝග කළාය.

No comments:

Post a Comment