Wednesday 19 May 2010

ඇ.ඩො. දෙලක්ෂ අනූනවදාහක් වංචා සිද්ධියේ සැකකරු ජෙනරාල්ගේ බෑනා තාමත් නිදැල්ලේ රහස් පොලිස් කණ්ඩායම් පහක් දැම්මත් වැඩක් වෙලා නෑ

කුමුදු හෙට්ටිආරච්චි

ජෙනරාල් සරත් ෆොන්සේකා ගේ බෑනා වන ධනුන තිලකරත්න අධිකරණය සහ පොලිසිය තවමත් මඟ හරිමින් සිටී. හමුදාවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ඇමෙරිකානු ඩොලර් 2,99,061.25 ක් වංචා කර ඇතැයි කියන සිද්ධිය ගැන ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබේ.
මොහු අත්අඩංගුවට ගැනීමට විශේෂ රහස් පොලිස් කණ්ඩායම් පහක් යොදා ඇතත් තවමත් නිදැල්ලේ පසුවීම විමතියට හේතුවී තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සැකකාර ධනුන තිලකරත්නට රටින් පිටවීම තහනම් කරමින් පසුගිය පෙබරවාරි මස 10 වැනිදා නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගය ආගමන හා විගමන පාලකවරයාට ද දැනුම් දුන්නාය.

මේ වනවිටත් සැකකාර ධනුන තිලකරත්න ගැවසුනු ස්ථාන හයක් සම්බන්ධව පරීක්‍ෂණ සිදුකළ බවත් එම ස්ථානයන් හි සිටි පුද්ගලයන්ගෙන් හා ඥාතීන් ගෙන් ප්‍රකාශ සටහන් කැරගෙන ඇති බවත් රහස් පොලිසිය පවසයි.
ධිකරණය මගින් සැකකරුවෙකු ලෙස නම් කළ ධනුන තිලකරත්න අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසු සැකකරුට ආරක්‍ෂාව හා රැකවරණය දී නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධව අත්අඩංගුවට ගත් ධනුන තිලකරත්න ගේ මිත්තනියට විරුද්ධව රහස් පොලිසිය විසින් නඩු පවරා ඇත.
“හයිකෝප් ප්‍රයිවට් ලිමිටඩ්” මගින් වංචා කරන ලද මෙම මුදල් අමෙරිකාවේ වූ “බ්‍රිටිෂ් බෝර්නියෝ ඩිෆෙන්ස් ඔස්ට්‍රේලියා” ගිණුමට යවා ඇති බවත් එම ගිණුම “හයිකෝප් ඉන්ටර් නැෂනල්” සමාගමේ අයිතිකරු වන සැකකාර ධනුන තිලකරත්නට අයත් බවත් රහස් පොලිසිය මෙතෙක් සිදුකළ පරීක්‍ෂණවලින් හෙළිදරව් කැරගෙන ඇතැයි රහස් පොලිසිය පවසයි.
වංචාවෙන් ලබාගත් මුදල් ධනුන තිලකරත්නට අයත් “බ්‍රිටිෂ් බෝර්නියෝ ඩිෆෙන්ස් ඕස්ට්‍රේලියා” ගිණුමට බැර වූ බව “හයිකෝප් ප්‍රයිවට් ලිමිටඩ්” හි අධ්‍යක්‍ෂවරුන් ගේ ප්‍රකාශවලින් ද තහවුරු වී ඇති බව රහස් පොලිසිය කියයි.
ඇපදිය නොහැකි වැරදි සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට සොයන බව පවසමින් සැකකාර ධනුන තිලකරත්න, නීතිඥ මුදිත අබේරත්න මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කැර තිබූ අපේක්‍ෂිත ඇප අයැදුම මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
ඉන් අනතුරුව අවස්ථා තුනක් රහස් පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ධනුන තිලකරත්නට රහස් පොලිසිය විසින් දැනුම් දුන්න ද මේ වන තෙක් සැකකාර ධනුන තිලකරත්න රහස් පොලිසියට හෝ අධිකරණයට ඉදිරිපත් වී නොමැත.
දිගින් දිගටම සැකකාර ධනුන තිලකරත්න අධිකරණය හා රහස් පොලිසිය මඟ හැරීම නිසා රහස් පොලිසිය අධිකරණයට වාර්තා කල කරුණු සැලකිල්ලට ගනිමින් සැකකාර ධනුන තිලකරත්න අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කෙරුණි.
සැකකාර ධනුන තිලකරත්න අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ලබාගෙන ඇති බව රහස් පොලිසිය පවසයි. අධිකරණ නියෝග මත සැකකාර ධනුන තිලකරත්නට අයත් බැංකු ගිණුම් පරීක්‍ෂාවට ලක් කළ අතර එහිදී හෙළිදරව් වී ඇත්තේ ලංකා බැංකුව හරහා මෙම වංචාවට අදාළ මුදල ධනුන තිලකරත්නට අයත් “බ්‍රිටිෂ් බෝර්නියෝ ඩිෆෙන්ස් ඕස්ටේ‍්‍රල‍්‍රියා” ගිණුමට බැර වී ඇති බවයි.
යුද හමුදාව වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කැර ප්‍රශ්න ගත ටෙන්ඩර් හතරක් ලබාගෙන ඇමෙරිකානු ඩොලර් 2,99,061.25 ක් වංචා කිරීම සම්බන්ධව රක්‍ෂිත බන්ධනාගාරයේ පසුවන “හයිකෝප් ප්‍රයිවට් ලිමිටඩ්” හි අධ්‍යක්‍ෂ වැලන්ටන් ට්‍රෙන්ටන් ඩේ හොට්” ගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු තවදුරටත් ලබන 26 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
රක්‍ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකාර අධ්‍යක්‍ෂවරයා රහස් පොලිසියට ප්‍රකාශයක් දෙමින් පවසා ඇත්තේ මෙම ප්‍රශ්න ගත ටෙන්ඩර් සැකකාර ධනුන තිලකරත්න ගේ උපදෙස් මත සිදු කළ බවයි. මෙම වංචාව සම්බන්ධ මෙතෙක් සිදුකළ පරීක්‍ෂණ වල උධෘත නීතිපතිවරයාගේ උපදෙස් පතා නීතිපතිවරයා වෙත යොමු කැර ඇති බව රහස් පොලිසිය පවසයි.







No comments:

Post a Comment