Sunday 30 May 2010

සිය තැනක සැඟවුණු මාමාගේ බෑණා

කේ.සී.ජේ.රත්නායක-සිළුමිණ
1963 අගෝස්තු 08 දා එංගලන්තයේ සිදු වූ මහා දුම්රිය කොල්ලය ඉතිහාසගත ය. එහි මහ මොළකරු රොනි බිග්ස් හිරෙන් පැන ගොස් වසර තිහකට අධික කාලයක් සැඟවී සිටියේ ය. දුම්රිය කොල්ලයටත් වඩා ප්‍රකට වූයේ රොනී බිග්ස්් ගේ පලා යෑම සහ සැඟවී සිටීම ය. එවැනි තවත් ‘වැඩකාරයෙක්’ ශ්‍රී ලංකාවෙන් ද මතු වෙමින් සිටී. ඔහු නමින් දනූන තිලකරත්න ය. කවුරුත් දන්නා ලෙස කීවොත් සරත් ෆොන්සේකා ගේ බෑණා ය. ඉතා කෙටි කාලයකදී සියයකට වැඩි ස්ථාන ගණනක සැඟවී සිටි දනූන; නීතියට හා රහස් පොලිසියේ ඇසට වැලි ගසමින් කට්ටි පනින්නේ වෙස් වලා ගෙන බවත් අසන්නට ලැබේ. එක් අවස්ථාවක කුරුණෑගල ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ නිවසේ සැඟවෙන මොහු තවත් විටෙක අනුරාධපුර පැත්තේ පන්සලක චීවර ධාරියකු බවට වෙස් මාරු කර ගනී. රහස් පොලිසිය එහි ළඟා වන විට සිවුරු ගළවා එතැනින් පැන යන මොහු නැවත මතු වන්නේ ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකිනි. මේ වනවිට දනූන තිලකරත්න, තවත් ‘අත්තනායක’ කෙනකු මෙන් උලපනේ පැත්තේ බංගලාවක සැපෙන් කල් ගෙවන්නේ ද? නැතහොත්; රටින් පැන ගොස් තිබේද යනු විවෘත ප්‍රශ්නයකි.

අපට දැන ගන්නට ලැබී ඇති පරිදි දනූන සොයමින් රහස් පොලිසියේ කණ්ඩායම් දහයක් පමණ රටපුරා සෝදිසියක නිරතව සිටිති. එසේ තිබියදී තනි පුද්ගලයකුට තැන් සිය ගණනකට මාරු වෙමින් සැඟවී සිටීමට හැකියාවක් නැත. නොම්මර එකේ පාතාලයකුට වුවත් මේ කට්ටි පැනීම වැඩි කල් කළ නොහැක.
එසේ නම් දනූන හෙවත් සරත් ෆොන්සේකා වරෙක කී පරිදි ;සල්ලම් වයසේ ළමයෙකු “ලිට්ල් රොනි බිග්ස්” කෙනෙකු වෙමින් සිටින්නේ කෙසේද? දනූන තිලකරත්න ගෙදරින් පැන යන කොලු පැංචෙක් නොව, ඔහු සමඟ මෙවැනි වැඩවලටම පළපුරුදු අපරාධකරුවන් ගෙන් සමන්විත රහසිගත ජාලයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වටහා ගැනීමට අමුතු විශේෂඥ දැනුමක් අවශ්‍ය නොවනු ඇත. රහස් පොලිසිය පවසන අන්දමට දනූන තිලකරත්න ‘රෝමින්’ පහසුකම් සහිත ජංගම දුරකථනයක් ද භාවිතා කරයි.
එවැනි දුරකථනයකින් ලංකාවේ සිටියදී ලංකාවේ කෙනෙකුට ඇමතුමක් ගත්තද එය දිස්වන්නේ විදේශ රටක සිට පැමිණෙන ඇමතුමක් ලෙසිනි. ඇත්තටම දනූන තිලකරත්න තවමත් ශ්‍රී ලංකාවේ කොතැනක හෝ සැඟවී සිටිමින් ‘රෝමින්’ ප්‍රයෝගය භාවිතා කරමින් සිටින්නේ නම්; ඔහු කවර නම් සූර කපටියෙක් ද යන්න එයින් ම වටහාගත හැකි ය. දනූනට මේ ප්‍රයෝග උගන්වන්නේ කවුද? මේ සියල්ලටත් වඩා කුහුල දනවන ප්‍රශ්නය වන්නේ දනූන තිලකරත්න මෙසේ පලා යන්නේ ඇයි? යන කාරණය යි.
රට හරහා විනෝදයට ඇවිදින සංචාරකයකුට ද ඒ වෙනුවෙන් දිනපතා සැලකිය යුතු මුදලක් වැය කරන්නට සිදුවෙයි. සැඟ වී දවසින් දවස තැනින් තැනට පලා යන පුද්ගලයකුට ඊට වඩා කිහිප ගුණයක මුදලක් දිනපතා අවශ්‍ය වෙයි. අනෙක් අතින් මුදලට හෝ වෙනත් අප්‍රකට කාරණයක් නිසා හෝ ඔහුට රැකවරණ සලසන පුද්ගලයන් එය කරන්නේ ද නෛතික අවදානමකට මුහුණ දෙමිනි.
දනූන තිලකරත්න ගරිල්ලා භටයකු නොවන හෙයින් අති දුෂ්කර කැළෑවක තනිවම යැපෙමින් සැඟවී සිටීමේ හැකියාව ද ඔහුට නැත. එහෙයින් ඔහු ගේ සාර්ථකත්වයට හේතු වී තිබෙන්නේ එක්කෝ මුදල් ය. නැතහොත් සංවිධානාත්මක රහසිගත ජාලයක රැකවරණය ලැබීම හෝ ඉහත කී කාරණා දෙකම වන්නටත් පුළුවන.
මේ ආකාරයෙන් විශාල මුදලක් වැය කරමින් දනුන සැඟවෙන්නේ හෝ ඔහු සඟවා තැබීමට හෝ කිසියම් අයෙක් උත්සාහ දරන්නේ ඇයි? ඒ නිසැකයෙන් ම සඟවා ගතයුතු ඉතා වටිනා රහසක් ඇති නිසා ය. දනූන නීතිය හමුවට ගියහොත්; තමන් ද හෙළිදරවු වේ යැයි මෙතෙක් අප්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙක් බියෙන් පසුවනවා වන්නට ද පුළුවන. එසේ නැත්නම් සිහි මොළේ ඇති කිසිවකු මෙවැනි හොරා පොලිස් සෙල්ලම්වල නිකමට යෙදෙන්නේ නැත.
ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟම දනූන තිලකරත්න ගේ මව වන අශෝකා තිලකරත්න මහත්මිය නීති විරෝධී ලෙස පෞද්ගලික බැංකුවක සේප්පු හතරක සඟවා තිබූ විශාල මුදල් සම්භාරයක් එළියට පැන්නේ ය. ඒ මුදලේ වටිනාකම දළ වශයෙන් රුපියල් ලක්ෂ 800 කට ආසන්නය.
ඉනුත් තරමක අභිරහසක් මතු කෙරුණේ හා මෙතෙක් අනාවරණය නොවූයේ අලුත් ම ඇමෙරිකන් ඩොලර් ලක්ෂ පහකට අධික මුදල් නෝට්ටු තොගයයි. මෙතරම් විශාල විදේශ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබා ගැනීම විනිමය නීති අනුව බලවත් වරදකි.
දෙවැන්න මෙතරම් ඩොලර් නෝට්ටු මෙරටට පැමිණියේ කෙසේද? ඒ ඩොලර් නෝට්ටුවල අනුක්‍රමික අංක එක පිළිවෙළට ගැලපෙන බවත් සොයා ගැනිණ. මෙතෙක් භාවිතයට නොගැණුනු අලුත්ම ඩොලර් මිටි දුන්නේ කවුද? කුමන කාරණයකට ද? යන මෙතරම් මුදලක් හොර රහසේ රටට ගෙනාවේ කෙසේද? යන ප්‍රශ්නවලට මෙතෙක් නිසි පිළිතුරු ලැබී නැත. ඩොලර් මිටි පමණක් නොව රුපියල් ශත පවා ගිණුමට මිස බැංකුවක සේප්පුවක තැන්පත් කිරීම නීති විරෝධීය.
එසේ තිබියදී දනුනගේ මව තවත් රුපියල් කෝටි ගණනක් සඟවා ගෙන සිටියේ ඇයි? මෙයින් කිසියම් මුදල් තොගයක් සරත් ෆොන්සේකා ගේ දේශපාලන කාර්යාලයේ තිබී ජනාධිපතිවරණයෙන් දින දෙකකට පසු අශෝකා තිලකරත්න මහත්මිය ගේ නිවෙසට රැගෙන විත් තිබුණු බැව් අනාවරණය විය.
මෙසේ එළියට පැන්න මුදල් මලු වෙන්ව මෙතෙක් අනාවරණය නොවූ තවත් මුදල් මලු තවත් තැන්වල තිබේ ද? මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු දන්නා එක් පුද්ගලයෙකි දනූන තිලකරත්න.
ඔහු නීතිය ඉදිරියට නොපැමිණෙන තෙක් මේ රහස් අබිරහස් බවට පත්වෙයි. පුංචි දනූන ‘ලිට්ල් රොනි බිග්ස්’ කෙනෙකු බවට පත්වන්නේ මෙවැනි අහු කොන් රැසක් මැද්දේ ය.
ෆොන්සේකා හා තිලකරත්න පවුලේ අනාවරණය වූ සහ වඩාත් කතා බහට ලක් වූ තවත් ගනු දෙනුවක් වූයේ කුප්‍රකට හයිකොප් අවි ජාවාරම ය. මේ සම්බන්ධයෙනුත් අධිකරණමය කටයුතු සිදුවන හෙයින් කරුණු සඳහන් කරන්නට සිදුවන්නේ මෙතෙක් අධිකරණය හමුවේ අනාවරණය වූ තොරතුරු සීමාවට යටත්වය.
සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ධූරයට පත් වීමත් සමඟම ඔහු යුද හමුදාවේ මිල දී ගැනීම් තීන්දු කරන ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා බවට පත්වෙයි. ඊට සමාන්තරව ‘හයිකොප්’ යනු වෙන් සමාගමක් ද ලියාපදිංචි කෙරේ. පසුව අනාවරණය වන්නේ හයිකොප් සමාගමේ නියම හිමිකරු ෆොන්සේකා මහතාගේ බෑණා වන දනූන තිලකරත්න බවයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට එක්තරා සීමාවකට අනුව ආයුධ හා උපකරණ මිලට ගැනීමේ හැකියාව තිබේ. එහෙත් ඒ මිලදී ගැනීම් කළ යුත්තේ පිළිගත් සමාගම්වලින් කරනු ලබන ටෙන්ඩර් කැඳවීමක් මඟිනි. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද හයිකොප් ප්‍රයිවට් ලිමිටඩ් එවැනි පිළිගත් සමාගමක් නොවේ.
රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට හයිකොප් සමාගම ශ්‍රී ලංකා යුද හමුදාවට ටෙන්ඩර් හතරකින් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ තුනක මුදලක් වංචා කොට ඇති බවයි.
ඔස්ට්‍රේලියාවේ බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස් නම් පිළිගත් සමාගමේ බලයලත් නියෝජිතයකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් දනූන තිලකරත්න ඩොලර් ලක්ෂ තුනක මුදලක් තම ගිණුමට බැර කරගෙන ඇති බවත්, මේ සඳහා අශෝකා තිලකරත්න මහත්මියගේ සම්බන්ධයක් පවතින බවත් අධිකරණයට කීවේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එක් සැකකරුවකු අත්අඩංගුවේ පසුවන අතර නඩුව තවමත් විභාග වෙමින් පවතී.
හයිකොප් අවි මගඩිය පිළිබඳව ජනාධිපතිවරණ සමයේදී නොයෙකුත් වාද- විවාද හට ගත්තේය. මෙය සම්පූර්ණ බොරුවක් බව ෆොන්සේකා මහතා මුලින්ම කීවේය. ඊළඟට ඔහු පැවසූයේ ඇමෙරිකාවේ හයිකොප් සමාගම ළමයින් ගේ සෙල්ලම් වැඩක් බවයි. එක් අවස්ථාවක සජීවී රූපවාහිනී සංවාදයක් පැවැත්වීමට තීරණය වූ අතර ඒ දෙස මුළු රටම බලා සිටියේය. ෆොන්සේකා මහතා වෙනුවෙන් දයාසිරි ජයසේකර මහතා පැමිණිය ද ඔහු විවාදය මඟහැර පැනගියේය. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට දනූන තිලකරත්න මහතාට රහස් පොලීසියෙන් කැඳවීමක් ලැබිණ.
තම බෑණා රහස් පොලීසියට ගියමුත් අසන්නට දෙයක් නැති බව කියමින් ඔහු නැවත එවූ බව කී ෆොන්සේකා මහතා; මෙය තමන්ට එරෙහි දේශපාලන එදිරිවාදීකමක් බව දැන් ලෝකයටම පෙන්නුම් කළ බවත් ප්‍රසිද්ධියේ කීවේය. ඊට දින දෙකකට පසුව රහස් පොලීසිය බාර අධ්‍යක්ෂවරයා ජනමාධ්‍ය ඔස්සේ පෙනීසිටිමින් කියා සිටියේ ෆොන්සේකා මහතා කරන ප්‍රකාශය අසත්‍යයක් බවත් දනූන තිලකරත්න මහතා ඡන්දෙන් පසුව පැමිණ ප්‍රකාශයක් දෙන බවට පොරොන්දු වී පිටවී ගිය බවත්ය. එහෙත් ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟම දනූන තිලකරත්න උන්හිටි තැන් නැතිව අතුරුදන්විය. සැඟවී සිටිමින් ඔහු අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කෙළේය. කරුණු සළකා බැලූ අධිකරණය විසින් එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
තීන්දුව ප්‍රකාශයට පත් කළ කොටුව මහෙස්ත්‍රාත් හා කොළඹ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය මෙසේ සඳහන් කර තිබිණ.
”...සාමාන්‍ය පුද්ගලයින් අතර උපකරණ හුවමාරු වන ගනු දෙනුවක් මෙන් නොව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආරක්ෂක අංශයක් වන ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට මුදල් ලබාගැනීම සුළුපටු වරදක් නොවේ. මේ සිද්ධිය මුළු රටවැසියන්ටම කළ අපරාධයකි”


එම තීන්දුවේ එන තවත් උධෘතයකින් දැක්වුණේ; “...පෙත්සම්කරු තමාට ඇති වරදේ ස්වභාවය පිළිබඳව දැන දැනම නියම කරුණු සඟවා නීතියෙන් සහනයක් පතා ඇති බව පෙත්සම්කරුගේ ඉල්ලීම හා ඉදිරිපත් වූ කරුණු අනුව පෙනෙන්නේය” යනුවෙනි.
අපේක්ෂිත ඇප අයදුම්පත්‍රය අධිකරණයෙන් ප්‍රතික්ෂේප වීමෙන් පසුව දනූන තිලකරත්න අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුව තිබිණැයි විවිධ මත පළ විය. එහෙත් සිදුවුණේ ඔහු පිළිබඳව තොරතුරු නැතිව ම අතුරුදන්වීමය. රහස් පොලීසිය ජනමාධ්‍ය ඔස්සේ හා ප්‍රචාරක පත්‍රිකා මඟින් දනූන තිලකරත්න පිළිබඳ තොරතුරක් සපයන අයකුට රුපියල් ලක්ෂ 10ක තෑග්ගක් දෙන බව දැනුම් දුන්න ද පලක් නොවිණ.






නැවත රටපුරා පොලිස් සෝදිසියක් කෙරෙන බවට වාර්තා පළ වුවද දනූන ආගිය අතක් සොයාගත නොහැකි විය. ඔහු අපරාධ නීතියේ 60 වැනි වගන්තිය අනුව ප්‍රකාශිත පුද්ගලයකු බවට පත්කරන්නැයි රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළ ද මුල් අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කෙරිණ.
දනූන සොයන සෝදිසිය තවත් දැඩි කළ බවට නැවත පුවත් වාර්තා වන්නට ගත්තේය. එහෙත් පෙර මෙන්ම මෙවර ද ඔහුගේ මයිලක්වත් සොයාගත නොහැකි වූ බැව් කියැවිණි. තත්ත්වය මෙසේ පවතින අතර රහස් පොලීසිය නැවත කළ ඉල්ලීමක් හා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් පසුව අධිකරණයෙන් ඉකුත් 26 දා නියෝගයක් නිකුත් කෙරිණ.
ඒ අනුව දනූන තිලකරත්න ප්‍රකාශිත පුද්ගලයකු බවට නම් කෙරිණ. දැන් සාමාන්‍ය කෙනෙකුට වුවද දනූන දුටු තැන අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවිය හැකිය. දින 30 ක් ඇතුළත අධිකරණය හමුවේ පෙනී නොසිටිය හොත් ඔහුගේ දේපළ රාජසන්තක වීමේ අවදානමක් ද පවතී.
මෙවරවත් අධිකරණ තීන්දුවට ගරු කරමින් දනූන ඉදිරිපත් විය යුතු බවට යළිත් මත පැතිරෙමින් තිබේ. කුමන ප්‍රයෝග යොදමින් සිටිය ද රොනී බිග්ස්ටත් මෑතකදී වසර තිස් ගණනකට පසුව නැවත බන්ධනාගාරගත වන්නට සිදුවිය. අසන්නට ලැබෙන පරිදි ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ ප්‍රකාශිත පුද්ගලයකු බවට නම් කළ පළමුවැන්නා දනූන තිලකරත්නය. ඔහු අධිකරණය මඟහැර සිටීමෙන් ඇතිකර තිබෙන තත්ත්වය සුළුපටු නොවන බව එයින් මොනවට පෙනෙයි.
බොහෝ දෙනකු අපේක්ෂා කරන පරිදි දනූන අධිකරණයට බාර වෙයිද? නො එසේ නම් තවත් කෙටි කලක් වත් වෙස්වලාගෙන කට්ටි පනිමින් සිටීද? එසේ වුවහොත් ඊළඟට සිදුවන්නේ කුමක්ද? මේ සියල්ල තීන්දු කරනු ඇත්තේ අධිකරණයය. කෙසේ වෙතත් එක් දෙයක් නම් ඉඳුරාම පැහැදිලි වෙමින් තිබේ. එනම් දනූන තිලකරත්න සැඟවී සිටින්නේ තමා වෙනුවෙන්ම පමණක් නොවන බවයි. ඔහු අධිකරණයට අත්‍යවශ්‍ය පුද්ගලයකු බවට පත්ව සිටින අතරම ඔහු අධිකරණය හමුවට යෑම වළක්වන තවත් නාඳුනන පිරිසක් සිටිනවා වන්නට පුළුවන. කෙනකුගේ නීතිගරුක බව, විනීත බව හා සදාචාරය පටන්ගත යුත්තේ තම ගෙදරින් ම බැව් නිතර කෙරෙන කියමනකි.
එසේ නොකරන ඇත්තන් ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ යනුවෙන් ද පිරුළක් ඇත. මෙවැනි මරගාතවලට නීතියෙන් කළ හැකි යමක් තිබේදැයි අපි නොදනිමු. ඒ කෙසේ වෙතත් කුමන වේශයෙන් පෙනී සිටියද මරගාත වනාහී සමාජ විරෝධී පිළිලයන් බව තේරුම් ගැනීම පවා වැදගත්වනු ඇත.
සරත් ෆොන්සේකා මහතා ඡන්ද ව්‍යාපාරයේදී යහපාලනය ගැන බරට කතා කෙළේය.
දැන් අනාවරණය වන තොරතුරුවලින් පෙනී යන්නේ ඔහු ගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටි ඇතැම් පුද්ගලයන් පල්හොරුන් හා හිරේ විලංගුවේ පවා වැටුණු අපරාධකාරයින් බවයි. සේනක ද සිල්වා නම් පුද්ගලයා ඒ අතරින් එක් අයෙකි. ඔහු පුද්ගලයන් පැහැරගෙන යන බව කියමින් කප්පම් ලබාගෙන වසර හතක බරපතළ හිරදඬුවම් ලැබූ අයෙකි.
ඉන් නොනැවතී ඉන්ටපෝල් හරහා බෙල්ජියමට ද අවශ්‍යව සිටින අපරාධකාරයෙකි.
දනූන තිලකරත්න දැන් එක දිගට නීතියෙන් පලා යමින් සිටින්නේ සරත් ෆොන්සේකාගේ යහපාලන ව්‍යාපෘතියේ තවත් අතුරු ඵලයක් හැටියටය.
දනූන සිටිය ද නොසිටිය ද සරත් ෆොන්සේකා ගේ මැතිවරණ ව්‍යාපාරයට අභිරහස් ඩොලර් මලු ලැබුණේ කෙසේද? ඒ මුදල් මෙරට එවුනේ කුමන අරමුණකටද? යන්න දැනගැනීමට ඡන්දය දුන් නොදුන් සියල්ලන්ට අයිතිය ඇත. අද දනූන තිලකරත්න සැඟවී සිටින්නේ කිසියම් රහසිගත පාතාලයක අනුග්‍රහයෙන් නම් දනූන පමණක් නොව ඔහුට රැකවරණ සැපයූ පාතාල ජාලය අනාවරණය කර ගැනීම ද මෙරට නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියට ඉතා වැදගත් වනු ඇත.
දවසකට දෙකකට යන්තමින් මාධ්‍යවේදීන් ලෙස ලේබල් ගසාගත් හොර රංචුවක් දැනටත් විදේශ රටවල දේශපාලන රැකවරණ ලබාගෙන ඇත.
තවත් සමහරුන් මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් විශාල මුදලක් වංචා කොට රටින් පැන ගොස් ඇත. හෙට අනිද්දා දනූන තිලකරත්න වෙනුවෙන් ඇමිනෙෂ්ටිය වැනි සංවිධානත් පෙනී සිටින්නට ගතහොත් එය ද පුදුම වීමට හේතුවක් නැත.

No comments:

Post a Comment