Sunday 30 May 2010

”කොතරම් වතුර ගැලුවත් මැඩියාගේ කරවටලු” කිව්වා සේ විපක්ෂ නායක ධූරයේ කල්ප කාලාන්තරයක් වුවද සිටීමට වික්‍රමසිංහ මහතාගේ අකමැත්තක් නොමැත

මේධා- සිළුමිණ
එක්සත් ජාතික පක්ෂය නැවත පුවත් මවන්නට පටන් ගෙන ඇත. ඒ නායකත්වය පිළිබඳවයි. එ.ජා.ප.යේ වර්තමාන නායකත්වයට එරෙහිව ප්‍රසිද්ධියේ එල්ලවෙන දෙවන කැරැල්ලයි මේ.
තවත් විදියකින් පැවසුවහොත් මෙය පළමු කැරැල්ලේම කාබන් කොපියකි. පළමු කැරැල්ලේ ඇතැම් ජවනිකා මේ වන විටත් රඟ දැක්වී හමාරය. තවත් ජවනිකා රඟදැක්වෙමින් පවතින අතර ඉදිරියේදී රඟදැක්වීමට ද නියමිතය.


දෙදාස් දෙක වසරේදී චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව ගෙදර යවා රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත්වූයේ එතුමියගේම විධායකය යටතේය. ගැහැනියක පිරිමියකු කිරීමටත් පිරිමියකු ගැහැනියක කිරීමටත් පමණක් නොහැකි ජේ.ආර්. ගේ ව්‍යවස්ථාවේ විධායකය රනිල්ගේ අගමැතිකමත් ආණ්ඩුවත් වසර දෙකකින් ගෙදර හැරියේය. නැවත බිහිවූයේ ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ ආණ්ඩුවකි. ඊළඟට පැවැති ජනාධිපතිවරණය ද වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධූරයට ම හිර කළේය.


සිය වෙලාව එනතුරු විපක්ෂ නායක ධූරයේ කල්ප කාලාන්තරයක් වුවද සිටීමට වික්‍රමසිංහ මහතාගේ අකමැත්තක් නොමැත.
”කොතරම් වතුර ගැලුවත් මැඩියාගේ කරවටලු” කිව්වා සේ ඒ වන විට මැතිවරණ 14 ක් පරාජය වී තිබුණ ද එය සතේකට මායිම් කළේ වික්‍රමසිංහ මහතා නොවේ. පරාජයන් කිසිවක් තමන්ගේ වැරැද්දෙන් වූවා යැයි ඔහු කිසිවිටෙක සිතුවේ නැත. එබැවින් විපක්ෂ නායක ධූරයේ කොතරම් කාලයක් සිටින්නට සිදු වුවද රනිල්ට එය ලැජ්ජාවට කරුණක් නොවීය.
එහෙත් තවදුරටත් විපක්ෂයේ මන්ත්‍රීවරුම වී සිටින්නට පක්ෂයේ ඇතැම් කොටසක් කැමැති වූයේ නැත. කෙටියෙන්ම කියතොත් දිගින් දිගටම විපක්ෂය නියෝජනය කරන පක්ෂයක නියෝජ්‍ය නායකයා වී සිටීමට කරු ජයසූරිය කැමැති වූයේ ද නැත. එබැවින් පෙරළිකාර විකල්ප කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද එ.ජා.ප.යේ නියෝජ්‍ය නායකත්වයයි.
”එ.ජා.ප.යේ සිටින ප්‍රබලම මන්ත්‍රීවරුන් සිටින්නේ කරු පිල සමඟයි. අනික මිනිස්සුත් කරුට ආදරෙයි. ඒ නිසා කරු පිලේ අභියෝගය ලෙහෙසියෙන් පරදින්නෙ නැහැ”
මේ එදා කරු පිල ගැන සමහරු කියූ කථාවකි.
”මේ සැරේ ලොක්කා බෙල්ලට ම හිරවෙලා ඉන්නේ. අපේ ප්‍රතිසංවිධාන යෝජනා ක්‍රියාත්මක කරන්න එයාට සිද්ධ වෙනවා.”


”අපේ ගමන දුෂ්කරයි. ඉන්නෙ සුළුතරයයි. ඒත් අපි පක්ෂයේ අරටුවයි. ජනතාව ඉන්නේ අපි සමඟයි. ඒ නිසා අපි මේ සටන දිනනවාමයි.”යනාදී කථා කරු පිල තමන් ගැනම එවැනි කථා කියා ගත්තේය.


එදා කරු පිල සිය සටන අරඹන විට සිය නායකත්වය පරාජය වී තිබුණේ මැතිවරණ දාහතරකි. මේ වනවිට ඔහු පැරදුණ මැතිවරණ ගණන දහඅටකි. ළඟදීම දහනවවෙනි පරාජයත් ඔහුට උරුම වන්නේ පළාත් පාලන මැතිවරණය නිසාය.


”පළාත් පාලනයෙන් නම් කම් නැත. ඒත් ඊළඟ මහ මැතිවරණයෙන් එ.ජා.ප.ය ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. “දැන් නම් ලොක්කාගේ කෙරුවාව ඉවසුවා හොඳටෝම ඇතිය. පක්ෂය වහා ප්‍රතිසංවිධානය කළ යුතුය. පක්ෂ නායකත්වය වෙනස් විය යුතු අතර පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ද තහවුරු කළ යුතුය. ප්‍රධාන නිලතල ඡන්දයකින් පත් කළ යුතුයි”


කරු පිල සටන් කරන විට ද ඉවසීමේ ගුණාංගය ප්‍රගුණ කළ සජිත් පිල දැන් මෙසේ කියන්නේ ඉවසීමේ සීමාව හමාර වී ඇති නිසා විය යුතුය. එදා කරු පිල වෙනුවට අද සජිත් පිල කරළියට ඇවිත් සිටින්නේ තවදුරටත් විපක්ෂයට වී සිටිය නොහැකි නිසා විය යුතුය. එදා නායකත්වය රනිල්ගෙන් කරුට විතැන් විය යුතුª යැයි කියූ අය අද පවසන්නේ නායකත්වය රනිල්ගෙන් සජිත්ට විතැන් විය යුතු බවය.


”පක්ෂයේ වැඩ පෙන්වන වැඩ කළ හැකි ජනපි‍්‍රය චරිතයකට නායකත්වය හිමිවිය යුතුය. ඒකට සුදුස්සා සජිත්ය.”


එදා කරු අද සජිත්


එදා කරු ගැන අභිමානයෙන් කථා කළ ඇතැමෙකු අද සජිත් ගැන කථා කරන්නේ එලෙසය.
එදා රනිල්ට විරුද්ධ වූ කරු පක්ෂයේ අරටුවත් රැගෙන ආණ්ඩු පක්ෂයට ගියේය. එහෙත් ඔහු නැවත ආවේ අරටුව ආණ්ඩු පක්ෂයේ තබා තනිවමය. කරුගේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාද ඇති කිරීමේ සටන කෙළවර වූයේ එලෙසය. අද කරු ද සජිත් ද දෙදෙනාම සිටින්නේ එ.ජා.ප.යේ ය. එහෙත් සජිත් පිල සමඟ සන්ධානගත වීමට කරුට වුවමනාවක් නැති සේය. සැබැවින්ම රෑ වැටුණ වලේ දවල් ද වැටෙන්නට කරුට වුවමනාවක් නැත. එබැවින් රනිල් රකින ජ්‍යෙෂ්ඨයන්ට ම හේත්තුව දාගෙන හෝ ස්වාධීනව සිටීම අත්දැකීමෙන් පරිණත වී සිටින කරුගේ ඇඟට ගුණය. නැවත වරක් කළු ගලේ ඔළුව ගසා ගන්නට කරුට ඕනෑ නැත.
”එ.ජා.ප.යේ. නායකත්වය සමඟ ගැටුණු හැමෝම විනාශ වුණා. අතීතයේ ලලිත් ගාමිණී සිදුවීම ඒකට කදිම උදාහරණයක්.” ඒ බව එදා ප්‍රකාශ කළේ මහමැතිවරණයෙන් වීසිවී ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනය. ඊට හැරෙන තැපෑලෙන් උත්තර දුන්නේ අද ආණ්ඩුවේ ඇමැති ධූරයක් දරන රාජිත සේනාරත්න මහතාය.


බණ්ඩාරනායක මහත්තයා එවැනි සුබවාදී උදාහරණයක් බව ඔහු කියා සිටියේය. එහෙත් බණ්ඩාරනායක මහතාට මෙන් මැතිවරණ ජයග්‍රහණ තබා පක්ෂ නායකත්වය වෙනස් කිරීමට තබා ප්‍රතිසංවිධාන කටයුතු කිසිවක් කිරීමට ඔහුට හෝ කරු පිලට නොහැකි විය.
2006 නොවැම්බර් මාසයේ 19දා එ.ජා.ප.යේ 51 වැනි සම්මේලනය පැවැත්විණි. එහිදී ප්‍රතිසංවිධාන ඇතිකර නායකත්වයේ බල සිඳින්නට කරු පිල සිතා සිටියේය. එහෙත් සිදුවූයේ පක්ෂයේ එතෙක් ඔවුන්ට හිමි තනතුරු ද අහිමි වීමය. කරුට සිය නියෝජ්‍ය නායක ධූරය ද අහිමි විය. නියෝජ්‍ය නායක නිල නිවසෙන් සිය ලට්ට ලොට්ට කරගහගෙන එළියට බහින්නට කරු ජයසූරියට සිදුවිය.


එදා රනිල්ගේ හැසිරීම
එදා කරු පිල සටනට අවතීර්ණ වන විට රනිල් මුලින් ම හැසිරුණේ සුබවාදී ලෙසය. ඔහු කරු පිල සªටු වෙන අන්දමේ පොරොන්දු දිනෙන් දින අලුත්වැඩියා කළේය.
”එයා අපිට හැමදාම පොරොන්දු දෙනවා. බාලගිරි දෝසේ අද නොවේ හෙට වගේ තමයි. අපි දැන් එයාගෙ කල්දීම ගැනවත්, පොරොන්දු ගැනවත් විශ්වාසයක් නැහැ”
2006 වසරේ සිළුමිණේ දේශපාලන ලිපියට (දේශපාලන හතර මායිම) කරු පිලේ ප්‍රබලයෙක් කැරැල්ල අවසන් කාලයේ පැවසූ දෙයකි ඒ.
මේ වසරේ ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් හමාර වී තවම මාස කීපයකි. මහමැතිවරණය හමාර වී මාස දෙකක් හෝ ගෙවී ගොස් නැත. සජිත්ගේ කැරැල්ල මාස දෙකෙන් ඉවර කරන්නට රනිල් ක්‍රියාත්මක වී ඇති හැඩකි.
කැරැල්ල ආරම්භයේදීම පෙර පරිදි සුබවාදී ආකල්පයක් දක්වන්නට රනිල් පසුබට නොවීය. අවශ්‍ය නම් තම නායකත්වයෙන් ඉවත්වීමට වුවද සූදානම් යැයි රනිල් පවසා තිබිණි. එහෙත් ඒ රනිල්ගේ විහිළුවක් බව තේරුම් ගන්නට සජිත් පිලට වැඩි කල් ගියේ නැත. පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තමා සූදානම් යැයි ප්‍රසිද්ධියේ පැවසූ රනිල් තම පණිවුඩකරුවන් හරහා සජිත්ට දැන්වූයේ රුක්මන් සේනානායකගෙන් පුරප්පාඩු වූ උපනායක ධූරය පිළිගන්නා ලෙසය.


සජීත්ගේ ජාතික ජීවය


ඒත් සජිත් පවසා තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නොලැබෙන කිසිදු තනතුරක් තමා බාර නොගන්නා බවය.
කරු පිල රනිල්ගේ් පොරොන්දු පිළි නොගන්නා තත්ත්වයට පත්වූයේ අවුරුද්දක අවෑමෙන්ය. සජිත් මාසයක් ඇවෑමෙන් ඒ තත්ත්වය තේරුම් ගෙන ඇති සේය. ඔහු සිය “ජාතික ජීවය” වැඩසටහන ගැන කියා තිබූ කථාවෙන් එය අවබෝධ කර ගැනීම අපහසු නැත.
මම මේ වැඩසටහන අරගෙන ලංකාව පුරා යනවා. මම මේක නවත්තන්නෙ නැහැ. මම බලාපොරොත්තු වන්නෙ තාත්තා කළ විදියටම එ.ජා.ප ය දැවැන්ත ශක්තිමත් පක්ෂයක් කිරීමට. අනික කිසිවෙකු පක්ෂයෙන් එළැවීමට හෝ පක්ෂයේ අර්බුද ගැන මේ වේදිකාවල කථා කෙරෙන්නෙ නැහැ.
තව වසර හයකින් මහ මැතිවරණය එනවා. දැන්ම තියා ඊට සූදානම් විය යුතුයි. මේකෙ ප්‍රතිලාභ කවුරු ගත්තත් මට කමක් නැහැ. මට ඕනෙ පක්ෂය ගොඩ ගන්න.
සජිත්ගෙ නායකත්වයෙන් යුතු කැරැල්ල මෙවර කුමක් හෝ පෙරළියක් කරාවියැයි බලාගෙන සිටි පාක්ෂිකයන් සජිත්ගෙ මේ කථාවෙන් “රනිල්ගෙ හදිසි නික්මයාම” ගැන අදහස අත හරින්නට ඇත. සජිත්ගේ කැරැල්ල මාස දෙකෙන් අවසන් වීමට තවත් හේතුවක් ඇත. රටේ ජාතික ගැටලුව මේ වන විට විසැඳී තිබීම එක් හේතුවකි. කරු පිල සටනට පිවිසියේ නායකත්වයට පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට ”ජාතික ගැටලුවට එ.ජා.ප. යේ සහයෝගය” යන බරැති තේමාවක් ඉස්සර කර ගෙනය.
ඒ යටතේ ”අවබෝධතා ගිවිසුමකට” රනිල් මෙහෙයවන්න කරු පිල සැරසුණේය. කරු පිල රනිල්ට ලණු දෙද්දී රනිල් කරු පිලට ලණු දුන්නේය. ඔහු ද ඒ යෝජනා පිළිගත්තේය. ඒ අනුව ජාතික ගැටලුව ගැන අවබෝධතා ගිවිසුම ඇතිවිය. රනිල් - මහින්ද සාකච්ඡා ඇති විය. මේ හරහා හෝ සභාග ආණ්ඩුවක සිහිනය කරු පිල දුටු අතර රනිල් වෑයම් කළේ තම කැරළිකාර කණ්ඩායමේ නික්ම යාම ප්‍රමාද කර ගැනීමටය. එහෙත් රනිල්ගේ ලණු කෑම අතැර දැමූ විකල්ප කණ්ඩායම ආණ්ඩුවට එකතු විය.
සජිත් ද මේ වන විට පක්ෂ ප්‍රතිසංවිධාන ප්‍රජාතන්ත්‍රවාදය යන පෙරැළි කිරීම හිතෙන් අත්හැර තිබෙන්නට පුළුවන. එහෙත් කරු පිල මෙන් ඔහු ආණ්ඩුවට එකතු වෙතැයි ද සිතන්නට නොහැක. මන්ද යත් නායකත්වය ගැන කරුට වඩා අධිෂ්ඨානයක් සජිත්ට තිබෙන නිසාය. ඒ අධිෂ්ඨානය ඔහුට සිය පියාගෙන් ඔහුට උරුම වූ දෙයක් විය හැකිය.
අනෙක් පැත්තෙන් ආණ්ඩුව සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමට සජිත්ට හැකියාවක් ද නැත. මන්දයත් ඒ සඳහා තිබූ ප්‍රධාන අර්බුදය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් විසඳා අවසන් කරනු ලැබ ඇති හෙයිනි.
අවබෝධතා ගිවිසුම වෙනුවට සජිත් අද ස්වාධීන සටනක නිරත වී සිටියි. ඒ සටන මෙහෙය වෙන්නේ “ජාතික ජීවය” වැඩසටහන හරහාය. කෙසේ වෙතත් කරු පිලේ සටනේ කළ කී දේ එලෙසම සජිත් පිලේ සටනේදී ද අසන්නට දකින්නට පුළුවන.
”අපි බෙදිලා නැහැ. මෙතැන පිල් දෙකක් නැහැ. ඉන්නෙ එකම පිලයි. ඒ කියන්නෙ පක්ෂය ගොඩ දැමිය යුතුයි කියන පිලේ තමයි අපි හැමෝම ඉන්නෙ.”
මේ කථාව එදා කිව්වෙ රාජිත සේනාරත්න මහතාය. අද පවසන්නේ ගයන්ත කරුණාතිලක මහතාය. එහෙත් එදත් අදත් පක්ෂය දෙකට නොව තුනකට ම කැඩී ගොසිනි. ඍජුවම නායකත්වයේ පැත්ත ගත් පිරිස් සිටි අතර ඍජුවම කරු පිලේ පැත්ත ගත් අයත් සිටි අතර එදා ස්වාධීනව ඉන්න උත්සහ දැරුවේ අද කැරළිකාර පිලේ සජිත්ලා, දයාසිරිලා වැනි අයය. අද ද සජිත්ලා දයාසිරිලා සටනට අවතීර්ණ වී ඇති අතර ජ්‍යෙෂ්ඨයො රනිල් ආරක්ෂා කර ගැනීමේ සටනේ නිරත වෙති. එදා කැරළිකාර පිළේ නායකත්වය අද වෙසෙන්නේ ස්වාධීනවය. ඒ අනුව පක්ෂ ප්‍රතිසංවිධානය ඉල්ලන එකම පිළක් ලෙස ගයන්න එ.ජා.ප. ය හැඳින් වුවද පක්ෂය දෙකට තුනට කැඩී හමාරය. පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ද පවසා තිබුණේ කණ්ඩායම් දෙකක් සිටින බවය. ඔවුන් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ දේ කියා ගනිමින් සිටින බවද ඔහුගේ අදහසය.
කරු පිල සටන මෙහෙයවන යුගයේ දෙපාර්ශවය ලිපි ද ලියා ගත්හ. කරු මෙන්ම ගාමිණී ලොකුගේද, වජිර අබේවර්ධන ද මේ ලිපි සංග්‍රාමයට මැදිහත් වූහ. මේ සැරේ සජිත් ප්‍රේමදාස කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමකදී එවැන්නක් ගැන සිය සාමාජිකයන් දැනුම්වත් කළේය.
හැබැයි ඒ ලිපි ගැන නම් නොවේ. තමන්ට විරුද්ධව කැලෑ පත්තරයක් සූදානම් වෙමින් පවතින බවක්ය. ඔහු කියූ කැලෑ පත්තරය නම් ගම් ලිපින හා දුරකථන අංක ද සඳහන් ලිපියක් ලෙසින් කෘත්‍යාධිකාරි මණ්ඩලයට ලැබිණි. ඒ ලිපිය එවා තිබුණේ එ.ජා.ප. යේ හම්බන්තොට දිස්ත්‍රික් උපදේශක සරත් අබේසිංහ විසිනි. ඔහු සිය ලිපියෙන් සජිත් ප්‍රේමදාස දැඩි ලෙස විවේචනයට ලක්කර තිබිණි.
”හදිසි තාවකාලික සුවයක් නොව දීර්ඝ කාලීන බලයක් වෙනුවෙන්” යැයි එම ලිපිය ආරම්භයේදීම ලියා තිබුණි. ඔහු කියා සිටින්නේ සජිත් ආ දිනයේ සිට හම්බන්තොට ඡන්ද ප්‍රතිශතය අඩු වූ බවය. ප්‍රස්ථාර වගු සටහන් වලින්ද ඔහු සිය මතය සනාථ කරන්නට වෙර දරා ඇත.
මේ විදියේ ලිපි කරු පිලට විරුද්ධව ද ලියැවිණි. එදත් රනිල්ට මෙන්ම රනිල් ප්‍රතිවාදීන්ට හිතැති අය පක්ෂයේ සිටියහ. ඒ තත්ත්වය අදටත් එලෙසය. නායකත්වය එළවා දැමීම තම අරමුණ නොවන බව එදා කරු පිල ද පැවසූ කථාවකි. අද දයාසිරිලා, සජිත්ලා පවසන්නේ ද ඒ කථාවය. ඒත් හැබෑවටම මේ පිල් දෙකේම හැබෑ වුවමනාව වූයේ “ලොක්කා” එළවීමය. සමහරු ප්‍රසිද්ධියෙ කිව නොහැකි නිසා එසේ කීවද ඇතැමුන් නම් ප්‍රසිද්ධියේ එසේ කීවා අපට මතකය. ගියවර විකල්ප පිලේ මහින්ද විජේසේකර කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් විය. එසේ ඉවත් වූ මහින්ද විජේසේකර පවසා සිටියේ, “ඔව් අපේ වෑයම ලොක්කා එළැවීම තමයි. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හිඳිමින් ඕක කියන්න බැහැනෙ. මං ඒකයි අයින් වුණේ.”
රනිල් එළැවීම තම අභිමතය නොවන බව දයාසිරි ජයසේකර පවසා තිබුණද ඔහු ඊළඟට පවසා තිබුණේ අවුරුද්දක් හෝ අවුරුදු දෙක තුනක් රනිල් නායක ධුරයේ සිටියට කම්නැති බවය. ඉන් අදහස් වන්නේ ඊළඟ මහ මැතිවරණවලට මෙන් ම ජනාධිපතිවරණයට වෙනත් නායකයකු අවශ්‍ය බවය. කෙළින් ම කියනවා මේ සටනේ අරමුණද රනිල් එළවීමය.


රනිල් නොසැලී ඉදිරියට


කෙසේ වෙතත් ගිය වර මෙන්ම මෙවර ද එ.ජා.ප. යේ කෙතරම් කැළඹිලි ඇති වුවත් වේරම්භ වාතයටවත් නොසැලෙන සේ රනිල් මෙවර ද නොසෙල් වී සිටි බව පෙනේ. ගියවර මෙන්ම සැහැල්ලුවෙන් මෙවර කැළඹීමට මුහුණ දුන් රනිල් මේ ප්‍රතිසංවිධාන ගැන නොපමාව කටයුතු කරන ලෙස මහලේකම්වරයාට දැනුම් දී ඉන්දියාවේ සංචාරයකට ද ගියේය.
කෙසේ හෝ යම් තරමක් ප්‍රමාද වී හෝ ප්‍රතිසංවිධාන වාර්තාව ඉදිරිපත් කිරීමට ප්‍රතිසංවිධාන කමිටුව පියවර ගෙන තිබිණි. ඒ වාර්තාව තවදුරටත් සජිත්ලා අන්දවා ඇති බව වැටහුණු විට සජිත් මාධ්‍ය සාකච්ඡාවද වර්ජනය කර ආපසු හැරී ගියේය. සජිත්ගේ මාධ්‍ය සාකච්ඡා වර්ජනය සිහි ගන්වන්නේ කරු පිළේ 51 වෙනි පක්ෂයේ මහා සම්මේලන වර්ජනයයි.
ප්‍රතිසංවිධධාන කමිටු වාර්තාව 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ද ආදර්ශයට ගනිමින් සැකසූ බවට සජිත් පිලේ ප්‍රබලයෙක් අප හා පැවසීය. ඒ අනුව ඉතා දියුණු මට්ටමේ ප්‍රතිසංවිධාන රැසක් ඉදිරියේදී ගනු ඇතැයි ඔහු කීය. එහෙත් සිදු වූයේ 95 පක්ෂ ව්‍යවස්ථාවෙන් රනිල් සිය නායකත්වය රැක ගැනීමට ගත් පියවර මේ යෝජනා වලින් තවත් හොඳින් තහවුරු කර ගැනීම පමණය.
මේ වාර්තාව ගැන කෘත්‍යාධිකාරි මණ්ඩලය දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව ගත් තීරණය මුලින් ම මාධ්‍යයට දැනුම් දුන්නේ මෙලෙසය. “පක්ෂයේ නායක, නියෝජ්‍ය නායක, උප නායක හා ජාතික සංවිධායක, මහ ලේකම් යන තනතුරු ඡන්දයකින් පත් කිරීමට තීරණය කළ බවය. ඡන්දයකින් පත් කර ගන්නා නායකයා මහ ලේකම්වරයා පත් කර ගත යුත්තේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන්ය.
මොකක්ද මේ එකඟතාව?
මේ තතනතුරු සඳහා ඡන්ද ක්‍රමවේදයක් ගැන ද ඉදිරියේදී සාකච්ඡා කර තීරණ ගැනීමට නියමිතය. එහෙත් මේ කුමන දේ සම්මත වුවත් පක්ෂයේ ඉහළ තනතුරු පත් කර ගැනීම සඳහා ඡන්දයකට යන්නේ එකඟතාවයෙන් තනතුරු පත් කර ගැනීමට නොහැකි වුවහොත් පමණි. ගොනා කැරකී ඇත්තේ සෙක්කුව වටේ බව රනිල් දෙවන වරටත් තම ප්‍රතිවාදීන්ට පසක් කර දී ඇත. ඊළඟට ගෙන ඇති ප්‍රතිසංවිධාන යෝජනාවෙන් ද එය අපූරුවට තහවුරු කර ඇත. එනම් කෘත්‍යාධිකාරි මණ්ඩලය තෝරා පත් කර ගන්නේ නායක, නියෝජ්‍ය නායක, උප නායක, ජාතික සංවිධායක හා මහ ලේකම්වරයාගෙන් සමන්විත වූ උපදේශක මණ්ඩලයකිනි. ඒ මණ්ඩලයේ වෙන කව්රුත් නැත. නැවත එහිදී තහවුරු වන්නේ නායකයාගේම බලයයි.
කරු පිලේ සටනෙන් පසුව පැවැත්වූ මහ සම්මේලනයෙන් ද ඔවුන්ගේ ප්‍රතිසංවිධාන යෝජනා සම්මත කර ගැනීමට ද නායකයාගේ බලය කප්පාදු කිරීමට ද දත මැද සිටි බව අමතක නැත. අන්තිමේට සිදු වුණේ මහ සම්මේලනයෙන් කරුගෙ තිබුණ බලයටද තට්ටුවීමය.


මහ සම්මේලනයේදි මොකද වෙන්නේ?


ඊළඟ මහ සම්මේලනයේදී ලොක්කා කුමක් කරාවිද යන්න පසුගිය කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ගත් තීරණම ප්‍රමාණවත්ය. වෙලාවට සජිත්ට දැන් විශේෂ නිලයක් නැත. එහෙත් සජිත්ට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකත්වය ද සමහර විට මේ සම්මේලනයේදී නැති වෙන පොටකට වැඩ සිදුවීමට පුළුවන. මන්ද කෘත්‍යාධිකාරී මණ්ඩලය තෝරන්නේ ද ලොක්කා ඇතුළු ලොක්කාම තෝරා ගනු ලැබූ නිලධරයන් විසින්ය.
කෙසේ වෙතත් සජිත් සිය තාත්තා ආදර්ශයට ගෙන පක්ෂය ගොඩ ගන්න හිතුවාට වරදක් නැත. මොකද ශක්තිමත් විපක්ෂයක් තිබීම ආණ්ඩුවටත් රටටත් හොඳය. ඒත් නායකත්වයට යන ගමනේදී නම් ඔහු මහින්ද රාජපක්ෂ ජනපතිගේ චරිතය ආදර්ශයට ගත්තාට කම් නැත. මන්දයත් පක්ෂ නායකත්වයට එන ගමනේදී පෙර එවකට මෙන් පක්ෂ නායකත්වයේ ම කෙණෙහිලිකම් විඳින්නට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවිය.
මීට වසර ගණනාවකට පෙර එතුමා ධීවර ඇමැතිව සිටි යුගයේ මේ ලියුම්කාරිණියම එතුමා සමඟ ඉරිදා ලක්බිම පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවක් සිහියට නැඟේ. ඒ සාකච්ඡාව සිදුවූයේ එතුමා කම්කරු ඇමැති ධුරයෙන් ධීවර ඇමැති ධුරයට මාරු කළ අලුතය. කම්කරු ප්‍රඥප්තිය එළි දැක්වීමට ඔන්න මෙන්න කියා තිබියදී එතුමාට ධීවර ඇමැතිධුරය බාර ගන්නට සිදුවිය. එහිදී අප එතුමාගෙන් විමැසුවේ මේවා කෙණෙහිලිකම් කියා සිතෙන්නේ නැද්ද යනුවෙනුයි.
”ඔව්. මේවා කෙණෙහිලිකම් තමයි. .... හැබැයි ශ්‍රී.ල.නි.ප. ය ගොඩ නගන්න මගේ තාත්තාත් හුඟක් මහන්සි වුණා.”පිළිතුර වූයේ එයයි.


තාත්තා ගොඩ නගන්න වෙර දැරූ පක්ෂයේ වර්තමාන නායකයා ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාය. පක්ෂයේ නොව රටේ ද නායකයා එතුමාය. සියලු කෙණෙහිලිකම් මැද්දේ එතුමාගේ ඉතා ඉවසිලිවන්ත ගමන එතුමාගේ නායකත්වයේ ප්‍රධාන ඉණිමඟ විය. සජිත්ට ද ඇත්තේ එවැනි පසුබිමකි. සජිත් ද කියන්නෙ තම පක්ෂය ගොඩ නැගීමට තම පියා වෙහෙස වූ බවය. ඒ ලෙසම තමාද වෙහෙස වෙන බවය.
පක්ෂය ගොඩ ගන්න විපක්ෂයේ සිටින යුගයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාද දැරූ වෙහෙස නැවත මතක් කළ යුතු නැත. පාද යාත්‍රා, ජන ඝෝෂා ඉන් ප්‍රධාන පියවර කීපයකි. මේ සියල්ල කෙරුණේ ද සජිත්ගේ පියා රටේ නායකයා ලෙස සිටින කාලයේය. ඒ පියවර වැරදී නැති බව අද සජිත්ට වුවද පෙනෙන්නට ඇති දෙයකි.
මේධා

No comments:

Post a Comment