Sunday 30 May 2010

අවසර මහා රජතුමණි,.......................................!

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
අවසර මහා රජතුමණි, මම වර්තමාණයේ ජීවත් වන අයෙක්මි. ඔබතුමාව බැහැදැකීමට ලැබීමම මා ලැබූ මහාපුණ්‍ය කර්මයක මහිමයක් සේ දැනෙනවා. ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්තනා කරනවා.
මම ඔබටත් එසේම පතනවා! ඒ වගේම වර්තමානයෙන් පුද්ගලයකු හමුවීමත් වාසනාවක්. ඉතින් වර්තමානය කෙසේද?
ස්වාමීනි, ජයග්‍රාහී යුගයක්. එවන් යුගයක ජීවත් වෙන අපත් සැබෑ ලෙසම වාසනාවන්ත බවක් හැගෙනවා.

ඔව්, ඔබ කියන කථාවේ අරුත ඉතාම පැහැදිලියි. නමුත් වර්තමානයට තව දිගු ගමනක් තියෙනවා. ඒකට සූදානම්වීම හා රට සූදානම් කිරීම යුධ ජයග්‍රහණයක් ලබනවාට වඩා අසීරු කටයුත්තක්. වර්තමානය ඒ සදහා සූදානම් වෙනවාද?
එහෙමයි ස්වාමීණි, වර්තමාණය ඒ සදහා ඉතා දැඩි සූදානමක නිරත වෙනවා. මේ වනවිටත් රට පුලුල් සංවර්ධන කාර්යයන් ගනනාවක්ම ආරම්භ කරල. නැගෙනහිර සංවර්ධනය, උතුරු වසන්තය වැනි ව්‍යාපෘති ගනනාවක්ම ආරම්භ කරල; ඒ සමගම ඔබ වහන්සේගේ උපන් නගරය විශාල සංවර්ධනයකට භාජනය වෙලා, මේ වනවිටත් ලෝකයේ විශාලම වරායක් ඉදිවෙමින් පවතිනවා. ජනතාව විශාල උද්යෝගයකින් මේ සිදුවෙන ක්‍රියාවන් දෙස බලා ඉන්නවා.
මොකක්ද ඒ කථාවේ තේරුම?


"ජනතාව විශාල උද්යෝගයකින් මේ සිදුවෙන ක්‍රියාවන් දෙස බලා ඉන්නවා."


ඇත්තටම මොකක්ද ඒ කථාවේ තේරුම?


ජනතාව බලා ඉන්නවා විතරද?


ඒ ක්‍රියාවන්ට දායක වන්නේ නැද්ද?
අවසර මහා රජතුමණි, මම කරුණු ඉදිරිපත් කල ආකාරයේ වරදක් වූවානම් සමාවන්න. යුද්ධය නිමවූ වහාම මුළු රටේම ජනතාව වීථි බැස ප්‍රීති ඝෝෂා කලා එපමණක් නොවෙයි; කැවුම් කිරිබත් පිසල හැමදෙනාම මේ ජයග්‍රහණය ඉහලින්ම සැමරුවා.
එතකොට දැන් ඔබ ඔය කියන සංවර්ධන ව්‍යාපෘතිවලට දායක වෙලා වැඩ කරන්නේ කවුරුද? ඇයි ජනතාව විශාල උද්යෝගයකින් මේ සිදුවෙන ක්‍රියාවන් දෙස බලා ඉන්නවා කියලා කීවේ.
මහා රජතුමණි, වර්තමානය ප්‍රජාතන්ත්‍රවාදී යුගයක්, වැඩවසම් යුගයේදී මෙන් ජනතාව යම් කාර්යයකට බද්ධ කරල නැහැ. ඒවගේම එහෙම කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා කැමති අයට මිසක් බලයෙන් කිසිවෙකුත් මෙරට තුල සිදුවෙන සංවර්ධන කාර්යයන් සදහා යොදවා ගන්න වර්තමානයට ඉඩක් නැහැ.
මේ රට අවුරුදු 30ක් අඛණ්ඩව යුද්ධයක් සිදු කල රටක්, අවුරුදු 30ක යුද්ධය කියන්නේ රට සංවර්ධනය නොවී එක තැනම පල්වෙවී තිබුණාය කියන අර්ථයක් ඉන් ගම්‍ය වෙන්නේ නැහැ.නමුත් තිබුණ දෑ විනාශ වෙවී රට ආපසු පසු පසට ගමන් කිරීමක් යුද්ධය හරහා සිදුවෙනවා. මේ වනවිට රටතුල පසු ගිය අවුරුදු 30 ක කාලය තුලදී කල යුතුව තිබූ කාර්යයන් ඒ ආකාරයෙන්ම ඉතිරිව තිබෙනවා. ඊට අමතරව විනාශ කල උරුමයන් යලි ස්ථාපිත කිරීමට සිදුව තිබෙනවා. සියල්ලම කැටිකර බැලුවොත් අවුරුදු 60ක පමණ කල යුතුවූ කාර්යය භාරයක් මෙරට ජනතාවට කිරීමට නියමිතව තිබෙනවා.
මේ රටේ බාල, තරුණ මහලු සියලු දෙනාම ගොවිබිම් වල, වැඩබිම් වල සිටිය යුතු යුග‍යක් මේ ගලා යන්නේ, එහෙම සිදු නොවෙන්නේ නම් කොතනක හරි විශාල වරදක් සිදුවෙලා තියෙනවා.


මේ සම්බන්ධව වගකීම තියෙන්නේ ඔබලාටයි. ඒ අයිතිය මනාව තේරුම් අරගෙන රට පුරාම සිටින එම ජනතාවට ඒ බව පහදා දෙන්න. ඒ යුතුකම පැහැර හරින්න නම් එපා.






මහ රජතුමණි, මේ වනවිට යුද්ධය නිමවී හරියටම වසරකට ආසන්න කාලයක් ලගා වෙලා තියෙනවා. මේ කාලය තුල තුන් ආකාරයක මැතිවරණ තියලා ජනතා පරමාධිපත්‍යය රැකල තියෙනවා. මීලගට රටතුල සීඝ්‍ර සංවර්ධන කාර්යයකට සූදානම් කරලයි තියෙන්නේ.






මහා යුද්ධයකට පස්සේ රට සංවර්ධනය කරන්න සැබෑ ලෙසම වැදගත් වෙන්නේ මැතිවරණ නම් නොවේ. නමුත් මේ රටට මැතිවරණ හරහා යම් වැදගත් කර්තව්‍යයක් ඉටු කෙරුණා.ඒ ජාත්‍යන්තර ද්‍රෝහීන්ගේ කථාවලට තාවකාලිකව ආවරණයක් ගොඩනැංවුනා. නමුත් යුද්ධයේ එක් මුහුණුවරක් පමණක් මේ වනවිට නිමවී තිබෙනවා. නමුත් සමස්ත යුද්ධයේ බල කදවුරු තවමත් රටපුරා ඒ ආකාරයටම ව්‍යාප්තව පවතින බව මතක තබා ගන්න.






මහරජතුමණි, ඔබ වහන්සේ පවසන ආකාරයට යුද්ධයේ බල කදවුරු ඒ ආකාරයටම ව්‍යප්තව පවතිනවා නම් ඒවා මුලිනුපුටා දැමීම සදහා, රටක් වශයෙන් අප අනුගමනය කලයුත්තේ කුමන පියවරක්ද?
මගේ පියා රජ කලේ ශ්‍රී ලංකාද්වීපයේ දකුණු පලාතේ මාගම නම්වූ රාජධානියෙහිය. අපිට මාගම පුරවරයෙන් හමා එන සුලගත් මහා සැනසුමක් ගෙනත් දුන්නා. නමුත් අපට ඓතිහාසිකව පැවරුණ කාර්යයක් තිබුණ. ඒක තමයි මේ රමණීය දිවයින නිදහස් කර ගැනීම. වර්තමානයේ ජීවත්වෙන මහින්ද රාජපක්ෂ නම්වූ රාජ්‍ය පාලකයාත්, ඒ මාගම් පුරවරයට ඥාතිත්වය ඇතිව ඉපිද, එදා අප විසින් ඉටු කල කාර්යයම ඉටු කර එක කඩ ඉමක් පසුකර තිබෙනවා. අප එදා සතුරාගේ අගනුවර අපේ අගනුවර බවට පත්කරගෙන එහි ගොස් පදිංචිව රාජ්‍ය පාලනය කිරීම හරහා කාලාන්තරයක් මෙරට ජනතාවට හා පාලකයින්ට අපහසුවකින් තොරව රට පාලනය කිරීමේ වරම හිමි උනා.
අපි පැහැදිලිවම දන්නවා මේක අපේ රට බව. මෙහි ඇති සෑම බිම් අගලකටම අපට විශාල උරුමයක් තියෙනවා. අපේ රාජ්‍යයන් උතුරු මැද ප‍ලාතේ සිට ක්‍රම ක්‍රමයෙන් දකුණ දක්වාම පහතට සංක්‍රමණය වූයේ පර සතුරු ආක්‍රමණ නිසයි. ඉතිහාසහ පුරාම අප සිදු කල ඓතිහාසික කාර්යය වර්තමාන පාලකයාවූ මහින්ද රාජපක්ෂ නම්වූ රාජ්‍ය පාලකයා විසින් වෙනස් කල යුතු යයි මම විශ්වාස කරන්නේ නැහැ. සියළු සතුරු බල ප්‍රදේශ යලි රජයේ පාලනයට නතු කරගත් එතුමා කලයුතු වූ අති විශේස කාර්යයක් තියෙනවා. ඒ සතුරාගේ යෝජිත අගනුවර වූ ත්‍රීකුණාමලය මෙරට අගනුවර බවට පත්කර, කොළඹ වානිජ අගනුවර 1 හා හම්බන්තොට වානිජ අගනුවර 2 වශයෙන් නම් කිරීමයි. මෙම කාර්යය කිරීම යුද්ධය කලාට වඩා අපහසු කාර්යක් වූවද, කලයුතුම කාර්යයක් බවට වටහා ගන්න. වර්තමානයේ මූලාරම්භක වකවානුවේදී, මෙරට පාලනය කල ඩී. ඇස්. සේනානායක නම්වූ රාජ්‍ය පාලකයාගෙන් පසු, මෙ වනතෙක් උතුරු නැගෙනහිර පලාත් මධ්‍යම රජයට නතු කර ගැනීමේ පදනමින් කටයුතු කල කිසිදු පාලකයකු අපට හමුවන්නේ නැහැ. නමුත් මේ මහා යුද්ධය හරහා උතුරු නැගෙනහිර දෙපලාත මධ්‍යම රජයට නතු දෙපලාතක් බවට පත්කිරීමට වත්මන් රාජ්‍ය පාලක මහින්ද රාජපක්ෂ මහතාට හැකියාවක් ලැබී තිබෙනවා. අප ඒ සම්බන්ධව ඉතාම සතුටට පත්වෙනවා ඒ ලෙසම එතුමාට ආශිර්වාද කරනවා.
මහා රජතුමණි යුද්ධයෙන් අල්ලාගත් ප්‍රදේශ තුල බලය තහවුරු කරගන්නේ කෙසේද?
අප පලමුව සලකා බලන්න ඕනි, මේ සා මහා ජීවිත ගනනාවක් පූජා කර මේ පලාත් අල්ලා ගත්තේ ඇයි දැයි යන්නයි. පලමු කරුණ වන්නේ ඒ පලාත් අපට හිමි පලාත් වීමයි. දෙවන්න ඉතා දුක්ඛිත තත්වයකට පත්ව සිටි ඒ පලාත් වල ජනතාව එම තත්වයෙන් මුදා ගැනීමටයි. තුන්වැන්න එම පලාත්වල සිට මෙහෙයවන ලද ත්‍රස්තවාදය මුලු රටටම තර්ජනයක්ව පැවති නිසාය. සිව් වැන්න ඒ හරහා තවත් රටෙන් 1/3ක කොටසක් සංවර්ධනය කිරීම හරහා රටේ ආර්ථිකයට මහත් දායකත්වයක් හිමි කරන්නට හැකිවීමය. මෙම කරුණු හතරටම සාපේක්ෂව මෙරට ජනතාව ජයග්‍රාහීව පෙල ගැස්සවීම හරහා දිනාගත් පලාත්වල බලය තහවුරු කරගත හැක.
පලාත් අල්ලා ගන්නේ අරමුණක් ඇතිවයි. සතුරා නසා දමා, එම පලාත් අතහැර, ආපසු හිටපු තැනට යාම, කිසිසේත් කලයුතු නොවේ. එබැවින් සටන නිමවූ වහාම එම පලාත්වල සිටි මිනිසුන් යලි පදිංචි කිරීම ආරම්භ කල යුතුවේ. දෙවැනිව පසුගිය වසර 50ක කාලය තුල විවිධ ආකාරයට එම පලාත් වලින් සිංහල හා මුස්ලිම් ජනතාව පලවා හරින ලද බව අමතක නොකල යුතුයි. මේ රජය විශාල වශයෙන් පුවත් පත් මගින් හා අනිකුත් ජනමාධ්‍යයන් හරහා එවන් තත්වයන්ට මුහුණ පෑ සියලුම ජනතාවට ආමන්ත්‍රණය කර, ඔවුන්ව ගොනුකර සියලු සම්පත් ඔවුනට සපයා ආරක්ෂව පෙරදැරි කොට ඔවුනව විශේෂිත ආකාරයට එම පලාත්වල පදිංචි කරවිය යුතුය. ඒ ඔවුන් අවතැන් වූ පලමු ජන කණ්ඩායම් වෙන නිසා හා වැඩි කාලයක් අවතැන්ව, කිසිවෙකුගේත් අවදානයට ලක් නොවී දිවි ගෙවූ පරපුර වන නිසාත්ය. ‍එදා සතුරා වැනසූ ඩොලර් ෆාම් හා කෙන්ට් ෆාම් වලට අමතරව, තවත් මහා ෆාම් වර්ග රාශියක් එම පලාත් වල ආරම්භ කර මෙරට ජනතාව එහි පදිංචි කල යුතුය. එපමනකින් නොනැවතී එම පලාත් වල ඉඩම් එම පලාත් නිදහස් කර ගැනීමට දායක වූ සෙන්පතියන්ට හා සොල්දාදුවන්ට ගම්වර වශයෙන් ප්‍රධානය කර, ඒවා දියුණු කිරීම සදහා තාක්ෂණය හා ප්‍රතිපාදන ලබාදිය යුතුය. ඒ හරහා ඒ පලාත් වල ආරක්ෂාව ප්‍රබල විදියට තර කල යුතුය. එතකින් නොනැවතී. මහා සග රුවනට සියලු පහසුකම් සහිතව විහාර ආරාම කරවා, ඒ ආසන්නයේ ආගමික හා සංස්කෘතික හා අධ්‍යාපනික මහා පුනරුදයක් ගොඩනැංවීම ආරම්භ කරවිය යුතුය. සැබෑ නිදහස් ජයග්‍රහණයේ මුල් අඩිතාලම එයයි.
මහා රජතුමණි, වර්තමානය අතීතයට වඩා සංකීර්ණයි. මුලු ලෝකයම අද එකම ගම්මානයක් වගෙයි. අපගේ සෑම ක්‍රියාවකටම එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාවගේ බලපෑම් එල්ල වෙනවා. අප යුද්ධය ජයග්‍රහණය කලද, ඒ යුද්ධය හේතුවෙන් හෙම්බත්ව සිටින අප, බොහෝ විටෙක දැනුවත්ව හා නොදැනුවත්ව ඔවුනගේ බලපෑම් වලට යට වෙන්න සිදු වෙනවා. විශේෂයෙන් මේ රටේ සෑම කටයුත්තක්ම කරන්නේ ජාත්‍යන්තර ආධාර මත. අප ඔබතුමා ගෙනහැර පෑ අදහස් ක්‍රියාවට නැංවීමට උත්සහ කලහොත් අර්බූද රැසක් නිර්මාණය වෙන්න ඉඩ තියෙන්න පුලුවන් බව ඔබතුමාට අවධාරනය කරන්න කැමතියි. ඒ සදහා අප කල යුත්තේ කුමක්ද?
ඔය ජාත්‍යන්තරයයි කියා ගන්නා ප්‍රජාවගේ බලපෑම් වලින් තොරව මේ රට තුල සිදුවන කිසිදු ක්‍රියාවක් ඇත්තේ නැහැ.මේ රටතුල තිබුණ ප්‍රබලම ජාත්‍යන්තර ප්‍රජා බලපෑම යනු පසුගිය බෙදුම්වාදී යුද්ධයයි. එම යුද්ධය පරාජය කල මේ රටට කුමන ආකාරයේ ජාත්‍යන්තර පුජා බලපෑම් ආවද ඒවාට මුහුණදීමේ ශක්තියක් ඇති බව වටහා ගන්න. පසුගිය යුගයේ යුද්ධ ජයග්‍රහණය ගැන උදම්ව කථා කරන ඔබම, මේ යුගයේ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ල විය හැකි බලපෑම් සම්බන්ධව බිය පල කරනවා. මේ වනවිට බිය විය යුත්තේ මෙරට වාසී ජනතාව නොව, ඔය ජාත්‍යන්තරයයි හංවඩුව ගසා ගත් ප්‍රජාවයි. සත්‍යවශයෙන්ම එම බිය ඔවුන්තුල තියෙනවා. වසර ගනනාවක් මේ මහා බෙදුම්වාදී යුද්ධය සදහා කල විශාල ආයෝජනයක්, ලෝක ආර්ථික අර්බූදයත් සමගම කඩාගෙන වැටීම ඔවුනට වූ දරා ගැනීමට අපහසුම කාර්යයක් බවට පත්වෙලා තියෙනවා. බොහෝම විමසිලිමත්ව ගලාගෙන යන සිදුවීම් දෙස බලන්න. කිසිදු දෙයකට බිය නොවන්න. ධෛර්යමත්ව හැම දෙයකටම මුහුණ දෙන්න. ජයග්‍රහණය ඔබ සමගයි.
මහරජතුමණි, ඔබතුමාට අනුව මේ වනවිට ජාත්‍යන්තර බලවේග විශාල පසුබෑමකට ලක්වෙලා, ඒනිසා මෙරට වැසියනට කලක් නිදහසේ ජීවිත කාලය ගත කල හැකිද?
සැබවින්ම නැහැ. ඔබලාට නිදහසේ කාලයක් ගත කරන්න වේලාවක් නැහැ. මේ වනවිටත් මේ අය සියලුම ආකාරයේ සැලසුම් පෙරදැරිව ඉදිරියට ඇවිත් ඉන්නවා. මේ වර ඔවුන් නැවත් කාලයක් යනතුරු කඩදාසි යුද්ධය අඛණ්ඩව කරගෙන යාවි. ඒ හරහා මේ රට තව තවත් අමාරුවට පත්වෙන උගුල් ඇටවීමට බලාවි. මේ සම්බන්ධව කල්පනා කාරීව කටයුතු කරන්න.
මහරජතුමණි, ඔබවහන්සේ කඩදාසි යුද්ධය වශයෙන් හදුන්වන්නේ කුමක්ද? ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කල හැකිද?
මේ රට මේ අර්බූදයට මුහුණ දෙන්න පටන් ගත්තේ බටහිරුන්ගේ පැමිණීමත් සමගයි. එදා මෙරටට බට පරංගියා ගෙරි සම් කඩක් එලීමට තරම් ඉඩක් ඉල්ලා ආරම්භ කල සම්මුති නමින් වූ කඩදාසි ගිවිසුම පරංගීන් අවසන් කලේ දොන් ජුවන් ධර්මපාල රජතුමාව ලවා මේ රට "ඉර හද පවතිනතාක් කල්" පෘතුගාල මහා රජතුමාට පවරමිණි. මෙය අපූරු යුද්ධමය ආක්‍රමණයකි. නමුත් සිදුවූයේ කඩදාසියක් හරහාය. මෙයට මම කඩදාසි යුද්ධය යයි නම් කරමි. මෑතකදී සිදුවූ මෙවැනි ආක්‍රමණයන් නම් "ඉන්දු ලංකා ගිවිසුම" හා "සටන් විරාම ගිවිසුම" නම්වූ මෙරට නිර්ලජ්ජිත විදියට ආක්‍රමණයකට ගොදුරු කල ගිවිසුම්ය.
මේ වනවිට මෙම කඩදාසි යුද්ධය සමාජ සම්මුතීන් බිද දමමින් ආර්ථික ක්ෂේත්‍රය පුරාද ව්‍යාප්තව පවතී. මේවායින් බොහෝ ප්‍රතිලාභ හිමිවන්නේ ආක්‍රමණිකයාටයි. මෙය මේ රට මුහුණ දෙන අති භයානක ක්‍රියාදාමයක් බව තේරුම් ගන්න.
එදා විදේශිකයෝ විශාල ධනයක් වියදම් කරගෙන රටවල් ආක්‍රමණය කර ධනය හා වහලුන් එම රට වලට බලහත් කාරයෙන් ගෙන ගියත්, අද තමන්ගේ සල්ලි වියදම් කරගෙනම වහල් මෙහෙයට යන පුද්ගලයන් නිර්මාණය වී සිටීම ආක්‍රමණිකයාගේ ජයග්‍රහණයක් බව අවබෝධ කර ගන්න.
ඒ විතරක් නොවෙයි අද සුද්දන්ගේ රටවලට මේ රටේ සල්ලි පොදි බැදගෙන යන්නේ, සුද්දෝ නම් නොවෙයි. මම කියන දේ වටහා ගන්න.
මහා රජතුමණි, අවසාන වශයෙන් ඔබ වහන්සේ අපේ රටේ ජනතාවට ලබා දෙන පණිවුඩය කුමක්දැයි කාරුණිකව පැවසිය හැකිද?
මම ඔබට ස්තුථිවන්ත වෙනවා මට එවන් අවස්ථාවක් ලබාදීම සම්බන්ධව. ඒ සමගම කිවයුතු වැදගත් දේ තමයි, වර්තමාන ජනතාවට පණිවුඩ නිකුත් කිරීමට මට කිසිදු අයිතියක් නැති බව. නමුත් මට ඔබට පැවසීමට යමක් තියෙනවා.ඒ " මේ රට සැබෑ ලෙසම ලෝකයේ ඇති උතුම් රටක් , ජය ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දළදා සමිදුන් වහන්සේ හා ශ්‍රී පාදස්ථානය, සුපිරි සිදුව මේ රටතුල වැඩහිදින තාක් මේ රටට කිසිවෙකුටත් වින කල නොහැකි බව අවබෝධ කරගන්න. සතුරා ඒ බව මැනවින් අවබෝධ කරගෙන සිටී. ඒ හේතුවෙන්ම මේ ස්ථාන තුන ඉලක්ක කරගෙන පහරදීමට සැලසුම් කල බවත්, ඉන් ස්ථාන දෙකකට පහර දුන් බවද අවබෝධ කර ගන්න. මේ බිම මිනිසුන්ට පමණක් සීමා වූවක්ද නොවේ.
මේ උතුම් දේශයේ, කාලාන්තරයක් මුලුල්ලේ සිය ප්‍රජාවන් පවත්වාගෙන එන ශාක පරම්පරාවන්ටත්, සත්ව පරම්පරාවන්ටත්, ඊටත් එහා ගිය, ඔබේ මානයන්ට හසු නොවන තවත් ජීවීන් පරම් පරා ගනනාවකටද හිමි බව සලකන්න. මේ දේශයේ ඉපිද රටට ද්‍රෝහීව කටයුතු කල කිසිවෙකුටත් ඒ සදහා ඔවුනට හිමි දඩුවම අභිබවා යාමට කිසිසේත් කල නොහැකි බවද සිහි තබා ගන්න. මෑත ඉතිහාසයේ මෙරට විරාජමානව වැජඹුණ බොහෝමයක් පාලකයින්ට අද සිදුව ඇති දේ මෙනෙහි කර බලන්න. පසුගිය දශකයන් තුල ම්ලේච ඝාතන කලාව, තමන්ගේ සුවිශේෂ හැකියාවක් සේ සිතා කටයුතු කල ජන ඝාතක පාලකයින්, උන් ප්‍රගුණ කල කලාවෙන්ම නැසී ගිය ආකාරය දෙස බලන්න. එපමණක් නොවෙයි, මේ උතුම්වූ දේශය, සතුරාට ඇවැසි ලෙස කඩා කැබලි කරන බව සඵත කල හැමට, එසේ කටයුතු කිරීමට මුල්වූ මොහොතේම, මුහුණ පෑමට සිදුවූ, ඇබැද්දීන් දෙස සියුම්ව විශ්ලේෂණය කර බලන්න. රජිව් ගාන්ධිලා, චන්ද්‍රිකා කුමාරතුංගලා හොදම නිදසුන් සේ සලකන්න. ඒවා අහඹු සිදුවීම් නොවන බවත්, ඉදිරියේදීත් එවැනිම සිදුවීම් මේ උතුම් දේශයට හානි සිදුකරන්නට එන හා සූදානම් වෙන, ඕනෑම පුද්ගලයකුට හෝ බලවේගයකට සිදුවෙන බවද සිහියේ තබාගන්න.
ඔබට සම්මා සම්බුදු සරණයි!
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

No comments:

Post a Comment