Thursday 17 June 2010

‘හයිකෝප්’ වංචා සිද්ධියේ තෙවැනි සැකකරු ෆොන්සේකා 23දා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග

කුමුදු හෙට්ටිආරච්චි


විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා, ‘හයිකෝප්’ මුදල් වංචා සිද්ධියේ තුන්වැනි සැකකරු ලෙස නම් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සැකකාර සරත් ෆොන්සේකා ලබන 23 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි යුද හමුදා පොලිසියට ඊයේ (16) නියෝග කළාය.‘හයිකෝප්’ මුදල් වංචා සිද්ධියේ දී ඉදිරිපත් වූ සාක්කි අනුව විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා එම සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත මහේස්ත්‍රාත්වරිය විසින් විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා ඊයේ (16) එසේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබුවා ය.

‘හයිකෝප්’ මුදල් වංචා සිද්ධියට අදාළ ප්‍රශ්නගත ටෙන්ඩර් හතර ලබාදීම සඳහා පවත්වන ලද ප්‍රසම්පාදක කමිටු හතරේම සභාපතිවරයා ලෙස විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා කටයුතු කැර ඇත.

ශශ්‍රී ලංකා යුද හමුදාපති වශයෙන් වූ නිල තත්ත්වය මත යුද හමුදා ප්‍රසම්පාදක කමිටුවේ සභාපති ලෙස කටයුතු කරමින් අදාළ භාණ්ඩ සැපයීම සඳහා ‘බ්‍රිටිෂ් බෝර්නියෝ ඩිෆෙන්ස්’ නමැති ලියාපදිංචි සැපයුම්කාර සමාගම විසින් ඉදිරිපත් කැර ඇති බවට දැක්වෙන ලංසු එම සමාගම විසින් ඉදිරිපත් නොකළ බව දක්වමින් විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා එම ලංසු අනුමත කැර ඇති බව රහස් පොලිසිය ඊයේ (16) වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දන්වා සිටියේ ය.


තවද තම බෑණා වන මෙම සිද්ධියේ දෙවැනි සැකකරු ධනුන තිලකරත්නට අයත් ඔහුගේ පාලනයේ පවතින බවට දන්නා ‘හයිකෝප්’ සමාගම වෙත අවිධිමත් ලෙස රජයේ මුදල් බැර කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රසම්පාදන කටයුතු බාරව සිටින නිලධාරීන් රැවටීම සඳහා විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා ආධාර අනුබල දීම සිදුකැර ඇති බවත් රහස් පොලිසිය සිය වැඩිදුර වාර්තාවෙන් අධිකරණයට දන්වා සිටියේ ය.

No comments:

Post a Comment